සංයුත්තනිකායො

ඛන්ධක වර්ගය

2. රාධ සංයුත්තය

2. දෙවෙනි වර්ගය

9. ඛය ධම්ම සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරනසේක. එකල්හි ආයුෂ්මත් රාධ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන් ආයුෂ්මත් රාධ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය.

“ස්වාමීනි, ‘ක්ෂය ධර්මය, ක්ෂය ධර්මයයි’ කියනු ලැබේ. ස්වාමීනි, ක්ෂය ධර්මය නම් කවරේද?”

“රාධය, රූපය ක්ෂයධර්ම නම්වේ. වේදනාව ක්ෂයධර්ම නම්වේ. සංඥාව ක්ෂයධර්ම නම්වේ. සංස්කාර ක්ෂයධර්ම නම්වේ. විඤ්ඤාණය ක්ෂයධර්ම නම්වේ. රාධය, මෙසේ දක්නාවූ බොහෝ ඇසූ පිරූ තැන් ඇති ආර්ය ශ්‍රාවකතෙමේ රූපයෙහිද කලකිරෙයි. වේදනාවෙහිද කලකිරෙයි. සංඥාවෙහිද කලකිරෙයි. සංස්කාරයෙහිද කලකිරෙයි. විඤ්ඤාණයෙහිද කලකිරෙයි. කලකිරීමෙන් (මාර්ගයට පැමිණීමෙන්) නොඇලෙයි. (ඵලයට පැමිණීමෙන්) මිදෙයි. මිදුනු කල්හි මිදුණේයයි නුවණ (පහල) වෙයි. ජාතිය කෙළවර විය. බ්‍රහ්මචර්යාවෙහි හැසිර නිමවන ලදී. මේ භවය පිණිස මත්තෙහි කළයුත්තක් නැතැයි දනියි” යනුයි.

(නවවෙනි ඛයධම්ම සූත්‍රය නිමි.)