සංයුත්තනිකායො
ඛන්ධක වර්ගය
2. රාධ සංයුත්තය
2. දෙවෙනි වර්ගය
10. වයධම්ම සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි ආයුෂ්මත් රාධ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ. එකත්පසෙක හුන්නේය. එකත්පසක සිටි ආයුෂ්මත් රාධ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීහ.
“ස්වාමීනි, ‘ව්‍යයධර්ම, ව්‍යයධර්මයයි’ කියනු ලැබේ. ස්වාමීනි, ව්‍යයධර්ම කවරේද?”
“රාධය, රූපය ව්‍යයධර්ම නම්වේ. වේදනාව ව්‍යයධර්ම නම්වේ. සංඥාව ව්‍යයධර්ම නම්වේ. සංස්කාර ව්‍යයධර්ම නම්වේ. විඤ්ඤාණය ව්‍යයධර්ම නම්වේ. රාධය, මෙසේ දක්නාවූ බොහෝ ඇසූ පිරූ තැන් ඇති ආර්ය ශ්‍රාවකතෙමේ රූපයෙහිද කලකිරෙයි. වේදනාවෙහිද කලකිරෙයි. සංඥාවෙහිද කලකිරෙයි. සංස්කාරයෙහිද කලකිරෙයි. විඤ්ඤාණයෙහිද කලකිරෙයි කලකිරීමෙන් (මාර්ගයට පැමිණීමෙන්) නොඇලෙයි. (ඵලයට පැමිණීමෙන්) මිදෙයි. මිදුනු කල්හි මිදුනේයයි නුවණ (පහල) වෙයි. ජාතිය කෙළවර විය. බ්‍රහ්මචරියාවෙහි හැසිර නිමවන ලදී. කළයුත්ත කරනලදී. මේ භවය පිණිස මත්තෙහි කළ යුත්තක් නැතැයි දනියි.”
(දසවෙනි වයධම්ම සූත්‍රය නිමි.)