සංයුත්තනිකායො

ඛන්ධක වර්ගය

10. ගන්ධබ්බ කාය සංයුත්තය

13–22. අන්නදායක මූලගන්ධ ආදී වූ සූත්‍ර දහය

13. අන්නදායක මූලගන්ධ සූත්‍රය.

(මෙහි 1 ඡෙදය මේ සංයුත්තයේ 2 සූත්‍රයේ 1 වෙනි ඡෙදය මෙනි.)

“යම් හෙයකින් මේ ලෝකයෙහි ඇතැමෙක් ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු මූලගන්ධයෙහි වාසය කරන දෙවියන් හා එක්වීමට පැමිණේද, ස්වාමීනි, එයට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද?”

“මහණ මේ ලෝකයෙහි ඇතැමෙක් කයින් සුචරිතයෙහි හැසිරෙයි. වචනයෙන් සුචරිතයෙහි හැසිරෙයි. සිතින් සුචරිතයෙහි හැසිරෙයි. මූලගන්ධයෙහි වාසය කරන දෙවියෝ දීර්ඝායුෂ ඇත්තාහ. වර්ණය ඇත්තාහ. සැප බහුලකොට ඇත්තාහයි ඔහු විසින් අසනලද්දේ වෙයි. ඔහුට මෙබඳු සිතෙක් වෙයි. ‘මේ ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු මූලගන්ධයෙහි අධිගෘහිත දෙවියන්ගේ සහබවට පැමිණෙන්නෙම් නම් හොඳය’ කියායි. හෙතෙම ආහාර දෙයි.

“හෙතෙම ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු මූලගන්ධයෙහි වාසයකරන දෙවියන් හා එක්වීමට පැමිණෙයි. මහණ, යම් හෙයකින් මේ ලෝකයෙහි ඇතැමෙක් ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු මූලගන්ධයෙහි වාසයකරන දෙවියන් හා එක්වීමට පැමිණෙයි නම් (එයට) මේ හේතුවයි. මේ ප්‍රත්‍යයයි.”

(මේ වර්ගයේ 13 වෙනි සූත්‍රයේ “හෙතෙම ආහාර දෙයි” යන වචන වෙනුවට මෙහි පහත දක්වන වචන 14 වෙනි සූත්‍රයේ පටන් 22 සූත්‍රය දක්වා යොදාගත යුතුයි.)

14. හෙතෙම පානය කළයුතු දේ දෙයි. - පානදායක සූත්‍රය.

15. ” වස්ත්‍ර ” - වත්ථදායක ”

16. ” යානාවන් ” - යාන දායක ”

17. ” මාලාවන් ” - මාලා ” ”

18. ” සුවඳ ” - ගන්ධ ” ”

19. ” විලවුන් ” - විලෙපන ” ”

20. ” සයනයන් ” - සෙය්‍ය ” ”

21. ” ආවාස ” - ආවසථ ” ”

22. ” පහන් ” - පදීපෙය්‍ය ” ”