සංයුත්තනිකායො
සළායතන වර්‍ගය
1. සළායතන සංයුත්තය
10. ඡල වර්‍ගය
10. රාම සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණසේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. ‘සවාමීනි’යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
’’මහණෙනි, උද්දක නම් රාමපුත්‍රතෙම මෙබඳු වචනයක් කියයි.
‘ මම ඒකාන්තයෙන් වේදගූ (- මම ඒකාන්තයෙන් සියළු වෘත්තය දැන මැඩ පවත්වා සිටියේ) වෙමි. මම ඒකාන්තයෙන් සියල්ල ජයගත්තේ වෙමි. ඒකාන්තයෙන් සාරා නොදමන ලද ගණඩමූලය (- දුක් මුල) සාරා දැමුවෙමි’ යනුයි.
’’මහණෙනි, උද්දක රාමපුත්‍රතෙම වෙදගූ නොවූයේම (වේදයෙහි පරතෙරට නොගියේම) ‘වෙදගූ වෙමි’යි කියයි. සියල්ල ජය නොගත්තේම ‘සියල්ල දිනුවෙමි’යි කියයි. සාරා නොදමන ලද දුක්මුල සාරා දැමුවෙමියි කියයි.
’’මහණෙනි, මෙය වනාහි භික්‍ෂුතෙම මනාව කියන්නේ නම් මෙසේ කියන්නේය. ‘ඒකාන්තයෙන් මම වේදගූ වෙමි. ඒකාන්තයෙන් සියල්ල ජයගත්තේ වෙමි. ඒකාන්තයෙන් සාරා නොදමන ලද දුක්මුල සාරා දැමුවෙමි’ කියායි.
’’මහණෙනි, කෙසේනම් භික්‍ෂුතෙම වේදගූ වේද? මහණෙනි, භික්‍ෂුතෙම යම් හෙයකින් සවැදෑරුම්වූ ස්පර්‍ශ ආයතනයන්ගේ හටගැනීමද, විනාශයද, ආශ්වාදයද, ආදීනවයද, නිසසරණයද, තත්වූ පරිද්දෙන් දැනගනීද, මහණෙනි, මෙසේ වනාහි භික්‍ෂුතෙම වේදගූ වේ.
’’මහණෙනි, කෙසේනම් භික්‍ෂුතෙම සියල්ල ජයගත්තේ වේද? මහණෙනි, යම් හෙයකින් භික්‍ෂුතෙම සවැදෑරුම්වූ ස්පර්‍ශායතනයන්ගේ හටගැණීමද, විනාශයද, ආශ්වාදයද, ආදීනව යද, නිසසරණයද, තත්වූ පරිද්දෙන් දැන උපාදාන රහිතව කෙළෙසුන් කෙරෙන් මිදුනේ වේද, මහණෙනි, මෙසේ වනාහි භික්‍ෂුතෙම සියල්ල ජයගත්තේ වේ.
’’මහණෙනි, කෙසේනම් භික්‍ෂූහුගේ නොසාරා දමන ලද දුක්මුල සාරා දමන ලද්දේවේද, මහණෙනි, ගණ්ඩය යනු මාතා පිතෘ සම්භවයෙන් හටගත්තාවූ බතින් හා කොමුපිඬුවෙන් වැඩුනාවූ අනිත්‍යය, උච්ඡාදනය (ඇඟ ඉලීම) මැඬීම, බිඳීම, නැසීම, සවභාව කොට ඇත්තාවූ, මේ සතරමහා භූතයන්ගෙන් හටගත්තාවූ ශරීරයට නමකි.
’’මහණෙනි, ගණ්ඩමූලය යනු තෘෂ්ණාවට නමකි. මහණෙනි, යම් හෙයකින් භික්‍ෂූහුගේ තෘෂ්ණාව පහකරණ ලද්දීද, මුල් සිඳින ලද්දීද, උදුරා දැමූ තල් ගසක්මෙන් කරණ ලද්දීද, විනාශ කරණ ලද්දීද, දත්තෙහි නූපදනා ස්වභාවයට පමුණුවන ලද්දීද, මහණෙනි, මෙසේ වනාහි භික්‍ෂූහුගේ නොසාරා දමන ලද ගණ්ඩමූලය සාරාදමන ලද්දේ වෙයි.
’’මහණෙනි, උද්දක නම් රාමපුත්‍රතෙම මෙබඳු කීමක් කියයි.
‘මම ඒකාන්තයෙන් වේදගූ වෙමි, ඒකාන්තයෙන් සියල්ල දිනුවේ වෙමි, ඒකාන්තයෙන් නොසාරා දමන ලද ගණඩමූලය සාරා දැමුවෙමි’ යනුයි.
’’මහණෙනි, උද්දක රාමපුත්‍රතෙම වේදයෙහි කෙළවරට නොගියේම, ‘වේදයෙහි කෙළවරට ගියේ වෙමි’යි කියයි. සියල්ල ජය නොගත්තේම, ‘සියල්ල ජයගත්තේ වෙමි’යි කියයි. නොසාරා දමන ලද ගණඩමූලයම, ‘සාරා දැමුවෙමි’යි කියයි. මහණෙනි, මෙහි වනාහි භික්‍ෂුතෙකම මනාකොට කියනු ලබන්නේ එය මෙසේ කියන්නේය.
‘මම ඒකාන්තයෙන් වේදයෙහි පරතෙරට ගියේ වෙමි, මම ඒකාන්තයෙන් සියල්ල ජය ගත්තේ වෙමි, ඒකාන්තයෙන් නොසාරා දමන ලද ගණඩමූලය සාරා දැමුවෙමි’ කියායි.,
ඡල වර්‍ගයයි.
පණ්ණාසකය නිමි.
පඨමසතකං.