සංයුත්තනිකායො
සළායතන වර්‍ගය
1. සළායතන සංයුත්තය
11. යොගක්ඛෙමි වර්‍ගය
4. ලොක සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. ‘සවාමීනි’යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
’’මහණෙනි, ලොකයාගේ හටගැනීමද විනාශයද දේශනා කරන්නෙමි. එය අසව්. ‘මහණෙනි, ලොකයාගේ හටගැනීම කවරේද යත්? ඇසද රූපයද නිසා චක්ඛු විඤ්ඤාණය උපදියි. ඒ තුන්දෙනාගේ එක්වීම ඵස්සය වේ. ඵස්සය නිසා වේදනාව වේ. වේදනාව නිසා තණ්හාව වේ. තණ්හාව නිසා උපාදානය (තදින් අල්වා ගැනීම) වේ. උපාදානය නිසා භවය වේ. භවය නිසා ජාතිය වේ. ජාතිය නිසා ජරා මරණ සොක පරිදේව දුක් දොම්නස් උපායාස යන මොහු හටගනිත්. මහණෙනි, මේ වනාහි ලෝකයාගේ හටගැනීම වේ.
’’කණද ශබ්දයද නිසා සෝත විඤ්ඤාණය උපදියි. ඒ තුන්දෙනාගේ එක්වීම ඵස්සය වේ. ඵස්සය නිසා වේදනාව වේ. වේදනාව නිසා තණ්හාව වේ. තණ්හාව නිසා උපාදානය (තදින් අල්වා ගැනීම) වේ. උපාදානය නිසා භවය වේ. භවය නිසා ජාතිය වේ. ජාතිය නිසා ජරා මරණ සොක පරිදේව දුක් දොම්නස් උපායාස යන මොහු හටගනිත්. මහණෙනි, මේ වනාහි ලෝකයාගේ හටගැනීම වේ.
’’නාසයද ගන්‍ධයද නිසා ඝාණ විඤ්ඤාණය උපදියි. ඒ තුන්දෙනාගේ එක්වීම ඵස්සය වේ. ඵස්සය නිසා වේදනාව වේ. වේදනාව නිසා තණ්හාව වේ. තණ්හාව නිසා උපාදානය (තදින් අල්වා ගැනීම) වේ. උපාදානය නිසා භවය වේ. භවය නිසා ජාතිය වේ. ජාතිය නිසා ජරා මරණ සොක පරිදේව දුක් දොම්නස් උපායාස යන මොහු හටගනිත්. මහණෙනි, මේ වනාහි ලෝකයාගේ හටගැනීම වේ.
’’දිවද රසද නිසා ජිව්හා විඤ්ඤාණය උපදියි. ඒ තුන්දෙනාගේ එක්වීම ඵස්සය වේ. ඵස්සය නිසා වේදනාව වේ. වේදනාව නිසා තණ්හාව වේ. තණ්හාව නිසා උපාදානය (තදින් අල්වා ගැනීම) වේ. උපාදානය නිසා භවය වේ. භවය නිසා ජාතිය වේ. ජාතිය නිසා ජරා මරණ සෝක පරිදේව දුක් දොම්නස් උපායාස යන මොහු හටගනිත්. මහණෙනි, මේ වනාහි ලෝකයාගේ හටගැනීම වේ.
’’කයද ස්පර්‍ශයද නිසා කාය විඤ්ඤාණය උපදියි. ඒ තුන්දෙනාගේ එක්වීම ඵස්සය වේ. ඵස්සය නිසා වේදනාව වේ. වේදනාව නිසා තණ්හාව වේ. තණ්හාව නිසා උපාදානය (තදින් අල්වා ගැනීම) වේ. උපාදානය නිසා භවය වේ. භවය නිසා ජාතිය වේ. ජාතිය නිසා ජරා මරණ සෝක පරිදේව දුක් දොම්නස් උපායාස යන මොහු හටගනිත්. මහණෙනි, මේ වනාහි ලෝකයාගේ හටගැනීම වේ.
’’සිතද ධර්‍මයන්ද නිසා මනො විඤ්ඤාණය උපදියි. ඒ තුන්දෙනාගේ එක්වීම ඵස්සය වේ. ඵස්සය නිසා වේදනාව වේ. වේදනාව නිසා තණ්හාව වේ. තණ්හාව නිසා උපාදානය (තදින් අල්වා ගැනීම) වේ. උපාදානය නිසා භවය වේ. භවය නිසා ජාතිය වේ. ජාතිය නිසා ජරා මරණ සෝක පරිදේව දුක් දොම්නස් උපායාස යන මොහු හටගනිත්. මහණෙනි, මේ වනාහි ලෝකයාගේ හටගැනීම වේ.
’’මහණෙනි, ලොකයාගේ විනාශය කෙසේදයත්? ඇසද රූපයන්ද නිසා චක්ඛු විඤ්ඤාණය හටගනී. ඒ තුන්දෙනාගේ එක්වීම ඵස්සය වේ. ඵස්සය නිසා වේදනාව වේ. වේදනාව නිසා තණ්හාව වේ. ඒ තණ්හාව ඉතිරි නොකොට මාර්‍ගයෙන් නිරුඬ කිරීමෙන් උපාදාන නිරෝධය වේ.
’’කණද ශබ්දයද නිසා සෝත විඤ්ඤාණය හටගනී. ඒ තුන්දෙනාගේ එක්වීම ඵස්සය වේ. ඵස්සය නිසා වේදනාව වේ. වේදනාව නිසා තණ්හාව වේ. ඒ තණ්හාව ඉතිරි නොකොට මාර්‍ගයෙන් නිරුඬ කිරීමෙන් උපාදාන නිරෝධය වේ.
’’නාසයද ගන්‍ධයද නිසා ඝාණ විඤ්ඤාණය හටගනී. ඒ තුන්දෙනාගේ එක්වීම ඵස්සය වේ. ඵස්සය නිසා වේදනාව වේ. වේදනාව නිසා තණ්හාව වේ. ඒ තණ්හාව ඉතිරි නොකොට මාර්‍ගයෙන් නිරුඬ කිරීමෙන් උපාදාන නිරෝධය වේ.
’’දිවද රසද නිසා ජිව්හා විඤ්ඤාණය හටගනී. ඒ තුන්දෙනාගේ එක්වීම ඵස්සය වේ. ඵස්සය නිසා වේදනාව වේ. වේදනාව නිසා තණ්හාව වේ. ඒ තණ්හාව ඉතිරි නොකොට මාර්‍ගයෙන් නිරුඬ කිරීමෙන් උපාදාන නිරෝධය වේ.
’’කයද ස්පර්‍ශයද නිසා කාය විඤ්ඤාණය හටගනී. ඒ තුන්දෙනාගේ එක්වීම ඵස්සය වේ. ඵස්සය නිසා වේදනාව වේ. වේදනාව නිසා තණ්හාව වේ. ඒ තණ්හාව ඉතිරි නොකොට මාර්‍ගයෙන් නිරුඬ කිරීමෙන් උපාදාන නිරෝධය වේ.
’’සිතද ධර්‍මයන්ද නිසා මනෝ විඤ්ඤාණය හටගනී. ඒ තුන්දෙනාගේ එක්වීම ඵස්සය වේ. ඵස්සය නිසා වේදනාව වේ. වේදනාව නිසා තණ්හාව වේ. ඒ තණ්හාව ඉතිරි නොකොට මාර්‍ගයෙන් නිරුඬ කිරීමෙන් උපාදාන නිරෝධය වේ. මෙසේ මේ සියළු දුක් සමූහයාගේ නිරුඬ කිරීම වේ. මහණෙනි, මේ වනාහි ලෝකයාගේ විනාශය වේයයි (වදාළ සේක.)