සංයුත්තනිකායො

සළායතන වර්‍ගය

1. සළායතන සංයුත්තය

11. යොගක්ඛෙමි වර්‍ගය

5. සෙය්‍ය සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

’’මහණෙනි, කුමක් ඇති කල්හි කුමක් නිසා කුමක් ඇතුලත්කොටගෙන මම ශ්‍රේෂ්ඨයෙක් වෙමියි කියා හෝ වේද, මම සදෘශයෙක් වෙමියි කියා හෝ වේද, මම හීනයෙක් වෙමියි කියා හෝ වේද?’’ - ’’ස්වාමීනි, අපට ධර්‍මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල්කොට ඇත්තෝය. භාග්‍යවතුන් වහන්සේ පමුණුවන්නාකොට ඇත්තාහුය. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණ කොට ඇත්තාහුය. ස්වාමීනි, මේ කීමේ අදහස භාග්‍යවතුන් වහන්සේ විසින් කියාදෙතොත් හොඳය.,

’’මහණෙනි, ඇස ඇති කල්හි ඇස නිසා ඇස ඇතුලත්කොට ගෙන මම ශ්‍රේෂ්ඨයෙක් වෙමියි කියා හෝ වෙයි. මම සදෘශයෙක් වෙමියි කියා හෝ වෙයි. මම හීනයෙක් වෙමියි නියා හෝ වෙයි.

’’මහණෙනි, කණ ඇති කල්හි කණ නිසා කණ ඇතුලත්කොට ගෙන මම ශ්‍රේෂ්ඨයෙක් වෙමියි කියා හෝ වෙයි. මම සදෘශයෙක් වෙමියි කියා හෝ වෙයි. මම හීනයෙක් වෙමියි නියා හෝ වෙයි.

’’මහණෙනි, නාසය ඇති කල්හි නාසය නිසා නාසය ඇතුලත්කොට ගෙන මම ශ්‍රේෂ්ඨයෙක් වෙමියි කියා හෝ වෙයි. මම සදෘශයෙක් වෙමියි කියා හෝ වෙයි. මම හීනයෙක් වෙමියි නියා හෝ වෙයි.

’’මහණෙනි, දිව ඇති කල්හි දිව නිසා දිව ඇතුලත්කොට ගෙන මම ශ්‍රේෂ්ඨයෙක් වෙමියි කියා හෝ වෙයි. මම සදෘශයෙක් වෙමියි කියා හෝ වෙයි. මම හීනයෙක් වෙමියි නියා හෝ වෙයි.

’’මහණෙනි, කය ඇති කල්හි කය නිසා කය ඇතුලත්කොට ගෙන මම ශ්‍රේෂ්ඨයෙක් වෙමියි කියා හෝ වෙයි. මම සදෘශයෙක් වෙමියි කියා හෝ වෙයි. මම හීනයෙක් වෙමියි නියා හෝ වෙයි.

’’මහණෙනි, සිත ඇති කල්හි සිත නිසා සිත ඇතුලත්කොට ගෙන මම ශ්‍රේෂ්ඨයෙක් වෙමියි කියා හෝ වෙයි. මම සදෘශයෙක් වෙමියි කියා හෝ වෙයි. මම හීනයෙක් වෙමියි නියා හෝ වෙයි.

’’මහණෙනි, ඒ කුමකැයි හඟිව්ද, ඇස නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’’ - ’’ස්වාමීනි, අනිත්‍යය.,

’’යමක් වනාහි අනිත්‍යද එය දුක් හෝ සැපහෝ වේද?’’ - ’’ස්වාමීනි, දුක්ය.,

’’යමක් අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාවයෙන් යුක්තද එය (තණ්හාදී වශයෙන්) නොගෙන ‘මම ශ්‍රේෂ්ඨයෙක් වෙමියි’ කියා හෝ වන්නේද, ‘මම සදෘශයෙක් වෙමියි’ කියා හෝ වන්නේද, ‘මම හීනයෙක් වෙමියි’ කියා හෝ වන්නේද?’’ - ’’ස්වාමීනි, එය නොවන්නේමැයි.,

’’කණ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’’ - ’’ස්වාමීනි, අනිත්‍යය.,

’’යමක් වනාහි අනිත්‍යද එය දුක් හෝ සැපහෝ වේද?’’ - ’’ස්වාමීනි, දුක්ය.,

’’යමක් අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාවයෙන් යුක්තද එය (තණ්හාදී වශයෙන්) නොගෙන ‘මම ශ්‍රේෂ්ඨයෙක් වෙමියි’ කියා හෝ වන්නේද, ‘මම සදෘශයෙක් වෙමියි’ කියා හෝ වන්නේද, ‘මම හීනයෙක් වෙමියි’ කියා හෝ වන්නේද?’’ - ’’ස්වාමීනි, එය නොවන්නේමැයි.,

’’නාසය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’’ - ’’ස්වාමීනි, අනිත්‍යය.,

’’යමක් වනාහි අනිත්‍යද එය දුක් හෝ සැපහෝ වේද?’’ - ’’ස්වාමීනි, දුක්ය.,

’’යමක් අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාවයෙන් යුක්තද එය (තණ්හාදී වශයෙන්) නොගෙන ‘මම ශ්‍රේෂ්ඨයෙක් වෙමියි’ කියා හෝ වන්නේද, ‘මම සදෘශයෙක් වෙමියි’ කියා හෝ වන්නේද, ‘මම හීනයෙක් වෙමියි’ කියා හෝ වන්නේද?’’ - ’’ස්වාමීනි, එය නොවන්නේමැයි.,

’’දිව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’’ - ’’ස්වාමීනි, අනිත්‍යය., , යමක් වනාහි අනිත්‍යද එය දුක් හෝ සැපහෝ වේද?’’ - ’’ස්වාමීනි, දුක්ය.,

’’යමක් අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාවයෙන් යුක්තද එය (තණ්හාදී වශයෙන්) නොගෙන ‘මම ශ්‍රේෂ්ඨයෙක් වෙමියි’ කියා හෝ වන්නේද, ‘මම සදෘශයෙක් වෙමියි’ කියා හෝ වන්නේද, ‘මම හීනයෙක් වෙමියි’ කියා හෝ වන්නේද?’’ - ’’ස්වාමීනි, එය නොවන්නේමැයි.,

’’කය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’’ - ’’ස්වාමීනි, අනිත්‍යය.,

’’යමක් වනාහි අනිත්‍යද එය දුක් හෝ සැපහෝ වේද?’’ - ’’ස්වාමීනි, දුක්ය.,

’’යමක් අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාවයෙන් යුක්තද එය (තණ්හාදී වශයෙන්) නොගෙන ‘මම ශ්‍රේෂ්ඨයෙක් වෙමියි’ කියා හෝ වන්නේද, ‘මම සදෘශයෙක් වෙමියි’ කියා හෝ වන්නේද, ‘මම හීනයෙක් වෙමියි’ කියා හෝ වන්නේද?’’ - ’’ස්වාමීනි, එය නොවන්නේමැයි.,

’’සිත නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’’ - ’’ස්වාමීනි, අනිත්‍යය.,

’’යමක් වනාහි අනිත්‍යද එය දුක් හෝ සැපහෝ වේද?’’ - ’’ස්වාමීනි, දුක්ය.,

’’යමක් අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාවයෙන් යුක්තද එය (තණ්හාදී වශයෙන්) නොගෙන ‘මම ශ්‍රේෂ්ඨයෙක් වෙමියි’ කියා හෝ වන්නේද, ‘මම සදෘශයෙක් වෙමියි’ කියා හෝ වන්නේද, ‘මම හීනයෙක් වෙමියි’ කියා හෝ වන්නේද?’’ - ’’ස්වාමීනි, එය නොවන්නේමැයි.,

’’මහණ මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකතෙම ඇස කෙරෙහිද කලකිරෙයි. කණ කෙරෙහිද කලකිරෙයි. නාසය කෙරෙහිද කලකිරෙයි. දිව කෙරෙහිද කලකිරෙයි. කය කෙරෙහිද කලකිරෙයි. සිත කෙරෙහිද කලකිරෙයි. කලකිරීමෙන් නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේය යන නුවණ ඇතිවෙයි. ඉපදීම ක්‍ෂය විය. බ්‍රහ්මචරියාවෙහි හැසිරෙන ලදී. කළයුත්ත කරන ලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැනගනීයයි, (වදාළ සේක.)