සංයුත්තනිකායො
සළායතන වර්‍ගය
1. සළායතන සංයුත්තය
13. ගෘහපති වර්‍ගය
6. ඝෝසිත සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි ආයුෂ්මත් ආනන්‍ද සථවිරයන් වහන්සේ කොසඹෑනුවර ඝෝසිතාරාමයෙහි වාසය කරති. එකල්හි වනාහි ඝෝසිත නම් ගෘහපති තෙම ආයුෂ්මත් ආනන්‍ද සථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ ආනන්‍ද සථවිරයන් වහන්සේ සමඟ සතුටු වූයේය. සතුටුවියයුතුවූ සිහිකටයුතුවූ කථාකොට නිමවා එක්පසෙක උන්නේය. එක්පසෙක උන්නාවූ ඝෝසිත නම් ගෘහපති තෙම ආයුෂ්මත් ආනන්‍ද සථවිරයන් වහන්සේට මෙය සැල කෙළේය.
’’සවාමීනි, ආනන්‍ද සථවිරයන් වහන්ස, ධාතූනාගේ නානාත්‍වය ධාතූනාගේ නානාත්‍වයයයි කියනු ලැබේ. සවාමීනි, කොපමණකින් භාගයවතුන් වහන්සේ විසින් ධාතූනාගේ නානාත්‍වය වදාරන ලද්දේද, යනුයි.
’’ගෘහපතිය, චක්‍ෂු ධාතුවද ඇත්තේය. මන වඩන්නාවූ රූපයෝද ඇත්තාහ. චක්‍ඛු විඤඤාණයද ඇත්තේය. සැප වෙදනාවට කරුණුවූ ස්පර්‍ශය නිසා සැපවූ වෙදනාවද උපදියි. ගෘහපතිය, චක්‍ෂු ධාතුවද ඇත්තේය. මන නොවඩන්නාවූ රූපයෝද ඇත්තාහ. චක්‍ඛු විඤඤාණයද ඇත්තේය. දුක් වෙදනාවට කරුණුවූ ස්පර්‍ශය නිසා දුක්වූ වෙදනාවද උපදියි. ගෘහපතිය, චක්‍ෂු ධාතුවද ඇත්තේය. උපෙක්‍ෂාවට කරුණුවූ රූපයෝද ඇත්තාහ. චක්‍ඛු විඤඤාණයද ඇත්තේය. දුක් ද නොවූ සැපද නොවූ වෙදනාවට කරුණුවූ ස්පර්‍ශය නිසා දුක් ද නොවූ සැපද නොවූ වෙදනාවද උපදියි.
’’ගෘහපතිය, සෝත ධාතුවද ඇත්තේය. මන වඩන්නාවූ ශබ්දයෝද ඇත්තාහ. සෝතවිඤඤාණයද ඇත්තේය. සැප වෙදනාවට කරුණුවූ ස්පර්‍ශය නිසා සැපවූ වෙදනාවද උපදියි. ගෘහපතිය, සෝත ධාතුවද ඇත්තේය. මන නොවඩන්නාවූ ශබ්දයෝද ඇත්තාහ. සෝත විඤඤාණයද ඇත්තේය. දුක් වෙදනාවට කරුණුවූ ස්පර්‍ශය නිසා දුක් වෙදනාවද උපදියි. ගෘහපතිය, සෝත ධාතුවද ඇත්තේය. උපෙක්‍ෂාවට කරුණුවූ ශබ්දයෝද ඇත්තාහ. සෝත විඤඤාණයද ඇත්තේය. දුක් ද නොවූ සැපද නොවූ වෙදනාවට කරුණුවූ ස්පර්‍ශය නිසා දුක් ද නොවූ සැපද නොවූ වෙදනාවද උපදියි.
’’ගෘහපතිය, ඝාණ ධාතුවද ඇත්තේය. මන වඩන්නාවූ ගන්‍ධයෝ ඇත්තාහ. ඝාණ විඤඤාණයද ඇත්තේය. සැප වෙදනාවට කරුණුවූ ස්පර්‍ශය නිසා සැපවූ වෙදනාවද උපදියි. ගෘහපතිය, ඝාණ ධාතුවද ඇත්තේය. මන නොවඩන්නාවූ ගන්‍ධයෝද ඇත්තාහ. ඝාණ විඤඤාණයද ඇත්තේය. දුක් වෙදනාවට කරුණුවූ ස්පර්‍ශය නිසා දුක්වූ වෙදනාවද උපදියි. ගෘහපතිය, ඝාණ ධාතුවද ඇත්තේය. උපෙක්‍ෂාවට කරුණුවූ ගන්‍ධයෝද ඇත්තාහ. ඝාණ විඤඤාණයද ඇත්තේය. දුක් ද නොවූ සැපද නොවූ වෙදනාවට කරුණුවූ ස්පර්‍ශය නිසා දුක් ද නොවූ සැපද නොවූ වෙදනාවද උපදියි.
’’ගෘහපතිය, ජිව්හා ධාතුවද ඇත්තේය. මන වඩන්නාවූ රසයෝද ඇත්තාහ. ජිව්හා විඤඤාණයද ඇත්තේය. සැප වෙදනාවට කරුණුවූ ස්පර්‍ශය නිසා සැපවූ වෙදනාවද උපදියි. ගෘහපතිය, ජිව්හා ධාතුවද ඇත්තේය. මන නොවඩන්නාවූ රසයෝද ඇත්තාහ. ජිව්හා විඤඤාණයද ඇත්තේය. දුක් වෙදනාවට කරුණුවූ ස්පර්‍ශය නිසා දුක්වූ වෙදනාවද උපදියි. ගෘහපතිය, ජිව්හා ධාතුවද ඇත්තේය. උපෙක්‍ෂාවට කරුණුවූ රසයෝද ඇත්තාහ. ජිව්හා විඤඤාණයද ඇත්තේය. දුක් ද නොවූ සැපද නොවූ වෙදනාවට කරුණුවූ ස්පර්‍ශය නිසා දුක් ද නොවූ සැපද නොවූ වෙදනාවද උපදියි.
’’ගෘහපතිය, කාය ධාතුවද ඇත්තේය. මන වඩන්නාවූ ස්පර්‍ශයෝද ඇත්තාහ. කාය විඤඤාණයද ඇත්තේය. සැප වෙදනාවට කරුණුවූ ස්පර්‍ශය නිසා සැපවූ වෙදනාවද උපදියි. ගෘහපතිය, කාය ධාතුවද ඇත්තේය. මන නොවඩන්නාවූ ස්පර්‍ශයෝද ඇත්තාහ. කාය විඤඤාණයද ඇත්තේය. දුක් වෙදනාවට කරුණුවූ ස්පර්‍ශය නිසා දුක්වූ වෙදනාවද උපදියි. ගෘහපතිය, කාය ධාතුවද ඇත්තේය. උපෙක්‍ෂාවට කරුණුවූ ස්පර්‍ශයෝද ඇත්තාහ. කාය විඤඤාණයද ඇත්තේය. දුක් ද නොවූ සැපද නොවූ වෙදනාවට කරුණුවූ ස්පර්‍ශය නිසා දුක් ද නොවූ සැපද නොවූ වෙදනාවද උපදියි.
’’ගෘහපතිය, මනො ධාතුවද ඇත්තේය. මන වඩන්නාවූ ධර්‍මයෝද ඇත්තාහ. මනො විඤඤාණයද ඇත්තේය. සැප වෙදනාවට කරුණුවූ ස්පර්‍ශය නිසා සැපවූ වෙදනාවද උපදියි. ගෘහපතිය, මනො ධාතුවද ඇත්තේය. මන නොවඩන්නාවූ ධර්‍මයෝද ඇත්තාහ. මනො විඤඤාණයද ඇත්තේය. දුක් වෙදනාවට කරුණුවූ ස්පර්‍ශය නිසා දුක්වූ වෙදනාවද උපදියි. ගෘහපතිය, මනො ධාතුවද ඇත්තේය. උපෙක්‍ෂාවට කරුණුවූ ධර්‍මයෝද ඇත්තාහ. මනො විඤඤාණයද ඇත්තේය. දුක් ද නොවූ සැපද නොවූ වෙදනාවට කරුණුවූ ස්පර්‍ශය නිසා දුක් ද නොවූ සැපද නොවූ වෙදනාවද උපදියි. ගෘහපතිය මෙතෙකින් වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් ධාතූන්ගේ නානත්‍වය වදාරන ලදැයි, කීය.