සංයුත්තනිකායො

සළායතන වර්‍ගය

1. සළායතන සංයුත්තය

16. නන්‍දික්ඛය වර්‍ගය

3. නන්‍දික්ඛය සූත්‍රය (3)

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අණේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්‍ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

’’මහණෙනි, ඇස නුවණින් මෙනෙහි කරව්. ඇස පිළිබඳ අනිත්‍ය බව තත්වූ පරිද්දෙන් මනාකොට බලව්. මහණෙනි, භික්‍ෂුතෙම ඇස නුවණින් මෙනෙහි කරන්නේ ඇස පිළිබඳ අනිත්‍ය බවද, තත්වූ පරිද්දෙන් මනාකොට බලන්නේ ඇස කෙරෙහිද කලකිරෙයි. තෘෂ්ණාව නැසීමෙන් රාගය නැසේ. රාගය නැසීමෙන් තෘෂ්ණාව නැසේ. තෘෂ්ණා රාග දෙදෙනාගේ නැසීමෙන් සිත මනාකොට මිදුනේයයි කියනු ලැබේ.

’’මහණෙනි, කණ නුවණින් මෙනෙහි කරව්. කණ පිළිබඳ අනිත්‍ය බවද තත්වූ පරිද්දෙන් මනාකොට බලව්. මහණෙනි, භික්‍ෂුතෙම කණ නුවණින් මෙනෙහි කරන්නේ කණ පිළිබඳ අනිත්‍ය බවද, තත්වූ පරිද්දෙන් මනාකොට බලන්නේ කණ කෙරෙහිද කලකිරෙයි. තෘෂ්ණාව නැසීමෙන් රාගය නැසේ. රාගය නැසීමෙන් තෘෂ්ණාව නැසේ. තෘෂ්ණා රාග දෙදෙනාගේ නැසීමෙන් සිත මනාකොට මිදුනේයයි කියනු ලැබේ.

’’මහණෙනි, නාසය නුවණින් මෙනෙහි කරව්. නාසය පිළිබඳ අනිත්‍ය බව තත්වූ පරිද්දෙන් මනාකොට බලව්. මහණෙනි, භික්‍ෂුතෙම නාසය නුවණින් මෙනෙහි කරන්නේ නාසය පිළිබඳ අනිත්‍ය බවද, තත්වූ පරිද්දෙන් මනාකොට බලන්නේ නාසය කෙරෙහිද කලකිරෙයි. තෘෂ්ණාව නැසීමෙන් රාගය නැසේ. රාගය නැසීමෙන් තෘෂ්ණාව නැසේ. තෘෂ්ණා රාග දෙදෙනාගේ නැසීමෙන් සිත මනාකොට මිදුනේයයි කියනු ලැබේ.

’’මහණෙනි, දිව නුවණින් මෙනෙහි කරව්. දිව පිළිබඳ අනිත්‍ය බව තත්වූ පරිද්දෙන් මනාකොට බලව්. මහණෙනි, භික්‍ෂුතෙම දිව නුවණින් මෙනෙහි කරන්නේ දිව පිළිබඳ අනිත්‍ය බවද, තත්වූ පරිද්දෙන් මනාකොට බලන්නේ දිව කෙරෙහිද කලකිරෙයි. තෘෂ්ණාව නැසීමෙන් රාගය නැසේ. රාගය නැසීමෙන් තෘෂ්ණාව නැසේ. තෘෂ්ණා රාග දෙදෙනාගේ නැසීමෙන් සිත මනාකොට මිදුනේයයි කියනු ලැබේ.

’’මහණෙනි, කය නුවණින් මෙනෙහි කරව්. කය පිළිබඳ අනිත්‍ය බව තත්වූ පරිද්දෙන් මනාකොට බලව්. මහණෙනි, භික්‍ෂුතෙම කය නුවණින් මෙනෙහි කරන්නේ කය පිළිබඳ අනිත්‍ය බවද, තත්වූ පරිද්දෙන් මනාකොට බලන්නේ කය කෙරෙහිද කලකිරෙයි. තෘෂ්ණාව නැසීමෙන් රාගය නැසේ. රාගය නැසීමෙන් තෘෂ්ණාව නැසේ. තෘෂ්ණා රාග දෙදෙනාගේ නැසීමෙන් සිත මනාකොට මිදුනේයයි කියනු ලැබේ.

’’මහණෙනි, සිත නුවණින් මෙනෙහි කරව්. සිත පිළිබඳ අනිත්‍ය බව තත්වූ පරිද්දෙන් මනාකොට බලව්. මහණෙනි, භික්‍ෂුතෙම සිත නුවණින් මෙනෙහි කරන්නේ සිත පිළිබඳ අනිත්‍ය බවද, තත්වූ පරිද්දෙන් මනාකොට බලන්නේ සිත කෙරෙහිද කලකිරෙයි. තෘෂ්ණාව නැසීමෙන් රාගය නැසෙයි. රාගය නැසීමෙන් තෘෂ්ණාව නැසේ. තෘෂ්ණා රාග දෙදෙනාගේ නැසීමෙන් සිත මනාකොට මිදුනේයයි කියනු ලැබේයයි, (වදාළ සේක.)