සංයුත්තනිකායො

සළායතන වර්‍ගය

1. සළායතන සංයුත්තය

18. සමුද්ද වර්‍ගය

3. බාලිසික සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්‍ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

’’මහණෙනි, යම්සේ බිලිබාන්නෙක් ඇම සහිතවූ බිලිය ගැඹුරුවූ දියෙහි බහාලන්නේද, ඇම දුටුවාවූ එක්තරා මත්ස්‍යයෙක් එය ගිලින්නේය. මහණෙනි, මෙසේ වනාහි බිලිබාන්නාගේ බිලිය ගිල්ලාවූ විනාශයට පැමිණියාවූ ව්‍යසනයට පැමිණියාවූ ඒ මාලුවාට බිලිබාන්නාට කැමති දෙයක් කළහැකිවේද, මහණෙනි, එපරිද්දෙන්ම ලොකයෙහි සත්‍වයන්ගේ විනාශය පිණිස ප්‍රාණීන්ගේ පීඩාව පිණිස මේ බිලිකටු සයක් වෙත්. ඒ කවර සයක්ද යත්,

’’මහණෙනි, චක්ඛු විඤ්ඤාණයෙන් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මනාපවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කම්සැප එලවන්නාවූ ඇලුම් කටයුතුවූ රූපයෝ ඇත්තාහ. ඉදින් භික්‍ෂුතෙම එයට සතුටුවේද, එය ප්‍රියයයි මනාපයයි කියයිද, එහි ගැලී සිටීද, මහණෙනි, මේ භික්‍ෂුතෙම මාරයාගේ බිලිකටුව ගිල්ලාවූ විනාශයට පැමිණියාවූ, ව්‍යසනයට පැමිණියාවූ, මරුවාට කැමති දෙයක් කළහැකියෙක් වේයයි කියනු ලැබේ.

’’මහණෙනි, සෝත විඤ්ඤාණයෙන් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මනාපවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කම්සැප එලවන්නාවූ ඇලුම් කටයුතුවූ ශබ්දයෝ ඇත්තාහ. ඉදින් භික්‍ෂුතෙම එයට සතුටුවේද, එය ප්‍රියයයි මනාපයයි කියයිද, එහි ගැලී සිටීද, මහණෙනි, මේ භික්‍ෂුතෙම මාරයාගේ බිලිකටුව ගිල්ලාවූ විනාශයට පැමිණියාවූ, ව්‍යසනයට පැමිණියාවූ, මරුවාට කැමති දෙයක් කළහැකියෙක් වේයයි කියනු ලැබේ.

’’මහණෙනි, ඝාණ විඤ්ඤාණයෙන් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මනාපවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කම්සැප එලවන්නාවූ ඇලුම් කටයුතුවූ ශබ්දයෝ ඇත්තාහ. ඉදින් භික්‍ෂුතෙම එයට සතුටුවේද, එය ප්‍රියයයි මනාපයයි කියයිද, එහි ගැලී සිටීද, මහණෙනි, මේ භික්‍ෂුතෙම මාරයාගේ බිලිකටුව ගිල්ලාවූ විනාශයට පැමිණියාවූ, ව්‍යසනයට පැමිණියාවූ, මරුවාට කැමති දෙයක් කළහැකියෙක් වේයයි කියනු ලැබේ.

’’මහණෙනි, ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මනාපවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කම්සැප එලවන්නාවූ ඇලුම් කටයුතුවූ රසයෝ ඇත්තාහ. ඉදින් භික්‍ෂුතෙම එයට සතුටුවේද, එය ප්‍රියයයි මනාපයයි කියයිද, එහි ගැලී සිටීද, මහණෙනි, මේ භික්‍ෂුතෙම මාරයාගේ බිලිකටුව ගිල්ලාවූ විනාශයට පැමිණියාවූ, ව්‍යසනයට පැමිණියාවූ, මරුවාට කැමති දෙයක් කළහැකියෙක් වේයයි කියනු ලැබේ.

’’මහණෙනි, කාය විඤ්ඤාණයෙන් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මනාපවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කම්සැප එලවන්නාවූ ඇලුම් කටයුතුවූ ස්පර්‍ශයෝ ඇත්තාහ. ඉදින් භික්‍ෂුතෙම එයට සතුටුවේද, එය ප්‍රියයයි මනාපයයි කියයිද, එහි ගැලී සිටීද, මහණෙනි, මේ භික්‍ෂුතෙම මාරයාගේ බිලිකටුව ගිල්ලාවූ විනාශයට පැමිණියාවූ, ව්‍යසනයට පැමිණියාවූ, මරුවාට කැමති දෙයක් කළහැකියෙක් වේයයි කියනු ලැබේ.

’’මහණෙනි, මනෝ විඤ්ඤාණයෙන් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මනාපවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කම්සැප එලවන්නාවූ ඇලුම් කටයුතුවූ ධර්‍මයෝ ඇත්තාහ. ඉදින් භික්‍ෂුතෙම එයට සතුටුවේද, එය ප්‍රියයයි මනාපයයි කියයිද, එහි ගැලී සිටීද, මහණෙනි, මේ භික්‍ෂුතෙම මාරයාගේ බිලිකටුව ගිල්ලාවූ විනාශයට පැමිණියාවූ, ව්‍යසනයට පැමිණියාවූ, මරුවාට කැමති දෙයක් කළහැකියෙක් වේයයි කියනු ලැබේ.

’’මහණෙනි, චකඛු විඤ්ඤාණයෙන් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මනාපවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කම්සැප එලවන්නාවූ ඇලුම් කටයුතුවූ රූපයෝද ඇත්තාහ. ඉදින් භික්‍ෂුතෙම එයට සතුටුනොවේද, එය ප්‍රියයයි මනාපයයි නොකියාද, එහි ගැලී නොසිටීද, මහණෙනි, මේ භික්‍ෂුතෙම මාරයාගේ බිලිය නොගිල මාරයාගේ බිලිය බින්දේය. විනාශයට නොපැමිණියාවූ, ව්‍යසනයට නොපැමිණියාවූ, මරුවා විසින් කැමති දෙයක් කළහැකියෙක් නොවේයයි කියනු ලැබේ.

’’මහණෙනි, සෝත විඤ්ඤාණයෙන් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මනාපවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කම්සැප එලවන්නාවූ ඇලුම් කටයුතුවූ ශබ්දයෝද ඇත්තාහ. ඉදින් භික්‍ෂුතෙම එයට සතුටුනොවේද, එය ප්‍රියයයි මනාපයයි නොකියාද, එහි ගැලී නොසිටීද, මහණෙනි, මේ භික්‍ෂුතෙම මාරයාගේ බිලිය නොගිල මාරයාගේ බිලිය බින්දේය. විනාශයට නොපැමිණියාවූ, ව්‍යසනයට නොපැමිණියාවූ, මරුවා විසින් කැමති දෙයක් කළහැකියෙක් නොවේයයි කියනු ලැබේ.

’’මහණෙනි, ඝාණ විඤ්ඤාණයෙන් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මනාපවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කම්සැප එලවන්නාවූ ඇලුම් කටයුතුවූ ගන්‍ධයෝද ඇත්තාහ. ඉදින් භික්‍ෂුතෙම එයට සතුටුනොවේද, එය ප්‍රියයයි මනාපයයි නොකියාද, එහි ගැලී නොසිටීද, මහණෙනි, මේ භික්‍ෂුතෙම මාරයාගේ බිලිය නොගිල මාරයාගේ බිලිය බින්දේය. විනාශයට නොපැමිණියාවූ, ව්‍යසනයට නොපැමිණියාවූ, මරුවා විසින් කැමති දෙයක් කළහැකියෙක් නොවේයයි කියනු ලැබේ.

’’මහණෙනි, ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මනාපවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කම්සැප එලවන්නාවූ ඇලුම් කටයුතුවූ රසයෝද ඇත්තාහ. ඉදින් භික්‍ෂුතෙම එයට සතුටුනොවේද, එය ප්‍රියයයි මනාපයයි නොකියාද, එහි ගැලී නොසිටීද, මහණෙනි, මේ භික්‍ෂුතෙම මාරයාගේ බිලිය නොගිල මාරයාගේ බිලිය බින්දේය. විනාශයට නොපැමිණියාවූ, ව්‍යසනයට නොපැමිණියාවූ, මරුවා විසින් කැමති දෙයක් කළහැකියෙක් නොවේයයි කියනු ලැබේ.

’’මහණෙනි, කාය විඤ්ඤාණයෙන් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මනාපවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කම්සැප එලවන්නාවූ ඇලුම් කටයුතුවූ ස්පර්‍ශයෝද ඇත්තාහ. ඉදින් භික්‍ෂුතෙම එයට සතුටුනොවේද, එය ප්‍රියයයි මනාපයයි නොකියාද, එහි ගැලී නොසිටීද, මහණෙනි, මේ භික්‍ෂුතෙම මාරයාගේ බිලිය නොගිල මාරයාගේ බිලිය බින්දේය. විනාශයට නොපැමිණියාවූ, ව්‍යසනයට නොපැමිණියාවූ, මරුවා විසින් කැමති දෙයක් කළහැකියෙක් නොවේයයි කියනු ලැබේ.

’’මහණෙනි, මනෝ විඤ්ඤාණයෙන් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මනාපවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කම්සැප එලවන්නාවූ ඇලුම් කටයුතුවූ ධර්‍මයෝ ඇත්තාහ. ඉදින් භික්‍ෂුතෙම එයට සතුටුනොවේද, එය ප්‍රියයයි මනාපයයි නොකියාද, එහි ගැලී නොසිටීද, මහණෙනි, මේ භික්‍ෂුතෙම මාරයාගේ බිලිය නොගිල මාරයාගේ බිලිය බින්දේය. විනාශයට නොපැමිණියාවූ, ව්‍යසනයට නොපැමිණියාවූ, මරුවා විසින් කැමති දෙයක් කළහැකියෙක් නොවේයයි, (වදාළ සේක.)