සංයුත්තනිකායො

සළායතන වර්‍ගය

1. සළායතන සංයුත්තය

18. සමුද්ද වර්‍ගය

8. ආදිත්ත සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘ මහණෙනි’යි භික්‍ෂූන් ඇමතූහ. ‘ ස්වාමීනි’යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට)භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

’’මහණෙනි, තොපට ආදිත්ත පරියාය නම් වූ ධර්‍ම දේශනාවක් කරන්නෙමි. එය අසව්. මහණෙනි, ආදිත්ත පරියාය නම්වූ ධර්‍ම දේශනාව කවරේද?

’’මහණෙනි, චක්ඛු විඤ්ඤාණයෙන් දතයුතුවූ රූපයන් කෙරෙහි අත් ලක්‍ෂණය පා ලක්‍ෂණය යනාදීන් සටහන් ගැනීමට වඩා ඇවිල ගන්නාවූ දිලිසෙන්නාවූ ගිනිදැල් සහිතවූ රත්වූ යකඩ කූරකින් ඇස හාරා දැමීම උතුමි. , මහණෙනි, ශරීරය ලක්‍ෂණයයි සටහන් ආශ්වාදනය කිරීමෙහි බැඳුනාවූ අත්පාදිය ලක්‍ෂණයයි ගන්නා හෝ ආශ්වාදනය කිරීමෙහි බැඳුනාවූ හෝ සිත පවත්නේද, ඉදින් ඒ කාලයෙහි කළුරිය කරන්නේ නම් නිරය හෝ තිරිසන් යෝනිය හෝ යන ගති දෙක අතුරෙන් යම් එක්තරා ගතියකට පැමිණෙන්නේය යන මේ කාරණය විද්‍යාමාන වේ. මහණෙනි, මම මේ දෝෂය දැක මෙසේ කියමි.

’’මහණෙනි, සෝත විඤ්ඤාණයෙන් දතයුතුවූ ශබ්දයන් කෙරෙහි ශබ්දය මිහිරිය යනාදී වශයෙන් නිමිති ගැනීමට වඩා ඇවිල ගත්තාවූ දිළිසෙන්නාවූ ගිණිදැල් සහිතවූ තියුණුවූ යකඩ හුලක් කන් පසාරු කරගෙන යනසේ ගැසීම උතුම්ය.

’’මහණෙනි, නිමිති ආශ්වාදනය කිරීමෙහි බැඳුනාවූ හෝ කුඩා ලකුණු වශයෙන් ආශ්වාදනය කිරීමෙහි බැඳුනාවූ හෝ විඤ්ඤාණය පවත්නේද, ඉදින් ඒ කාලයෙහි කළුරිය කරන්නේ නම් නිරය හෝ තිරිසන් යෝනිය හෝ යන ගති දෙක අතුරෙන් එක්තරා යම් ගතියකට පැමිණෙන්නේය යන මේ කාරණය විද්‍යාමාන වේ. මහණෙනි, මම මේ දෝෂය දැක මෙසේ කියමි.

’’මහණෙනි, ඝාණ විඤඤාණයෙන් දතයුතුවූ ගන්‍ධයන් විෂයෙහි සුවඳය මිහිරිය යනාදී වශයෙන් නිමිති ගැනීමට වඩා ඇවිල ගත්තාවූ දිළිසෙන්නාවූ ගිණිදැල් සහිතවූ නියනකින් නාසය උළුප්පා දැමීම උතුමි.

’’මහණෙනි, නිමිති ආශ්වාදනය කිරීමෙහි බැඳුනාවූ හෝ කුඩා ලකුණු ආශ්වාදනය කිරීමෙහි බැඳුනාවූ විඤඤාණය පවත්නේද, ඉදින් ඒ කාලයෙහි කළුරිය කරන්නේ නම් නිරය හෝ තිරිසන් යෝනිය හෝ යන ගති දෙක අතුරෙන් එක්තරා යම් ගතියකට පැමිණෙන්නේය යන මේ කාරණය විද්‍යාමාන වේ. මහණෙනි, මම මේ දෝෂය දැක මෙසේ කියමි.

’’මහණෙනි, ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතුවූ රසයන් කෙරෙහි රසය මධුරය යනාදී වශයෙන් ගැනීමට වඩා ඇවිල ගත්තාවූ දිළිසෙන්නාවූ ගිණිදැල් සහිතවූ සියුම්වූ දැලි පිහියකින් දිව කපා දැමීම උතුමි. මහණෙනි, නිමිති ආශ්වාදනය කිරීමෙහි බැඳුනාවූ කුඩා ලකුණු වශයෙන් රස විඳීමෙහි බැඳුනාවූ හෝ විඤ්ඤාණය පවත්නේද, ඉදින් ඒ කාලයෙහි කළුරිය කරන්නේ නම් නිරය හෝ තිරිසන් යෝනිය හෝ යන ගති දෙක අතුරෙන් එක්තරා යම් ගතියකට පැමිණෙන්නේය යන මේ කාරණය විද්‍යාමාන වේ. මහණෙනි, මම මේ දෝෂය දැක මෙසේ කියමි.

’’මහණෙනි, කාය විඤ්ඤාණයෙන් දතයුතුවූ ස්පර්‍ශයන් කෙරෙහි මෘදුය මොලොක්ය යනාදීන් නිමිති ගැනීමට වඩා ඇවිල ගත්තාවූ දිළිසෙන්නාවූ ගිණිදැල් සහිතවූ තියුණුවූ මහත්වූ වෑයකින් කය හැස දැමීම උතුමි.

’’මහණෙනි, නිමිති වශයෙන් ආශ්වාදනය කිරීමෙහි බැඳුනාවූ හෝ කුඩා සලකුණු වශයෙන් ආශ්වාදනය කිරීමෙහි බැඳුනාවූ හෝ විඤ්ඤාණය පවත්නේද, ඉදින් ඒ කාලයෙහි කළුරිය කරන්නේ නම් නිරය හෝ තිරිසන් යෝනිය හෝ යන ගති දෙක අතුරෙන් එක්තරා යම් ගතියකට පැමිණෙන්නේය යන මේ කාරණය විද්‍යාමාන වේ. මහණෙනි, මම මේ දෝෂය දැක මෙසේ කියමි.

’’මහණෙනි, නිදාගැණීම උතුමි. මහණෙනි, නිදාගැනීම වනාහි මම ජීවිතයාගේ වඳවීමයයි කියමි. ජීවිතයාගේ නිශ්චල භාවයයි කියමි. ජීවිතයාගේ මුළාවීමකැයි කියමි. යම්බඳු වූ විතර්‍කයන්ගේ වසඟයට ගියේ සංඝයා බිඳුවන්නේද, එබඳු වූ විතර්‍කයන් කල්පනා කිරීම එතරම්ද නොවටනේය. මහණෙනි, මම මේ දෝෂය දැක මෙසේ කියමි.

’’මහණෙනි, එහි ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකතෙම මෙසේ සලකයි. ‘ ඇවිල ගත්තාවූ දිලිසෙන්නාවූ ගිණිදැල් සහිතවූ රත්වූ යකඩ කූරකින් ඇස හාරා දැමීම තිබේවා, මම එයම මෙනෙහි කරමි. මෙසේ ඇස අනිත්‍යය. රූපයෝ අනිත්‍යයෝය. චක්ඛු විඤ්ඤාණය අනිත්‍යය. චක්ඛු සම්ඵස්සය අනිත්‍යය. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක් වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද අනිත්‍යයි. , ඇවිලගත්තාවූ දිලිසෙන්නාවූ ගිනිදැල් සහිතවූ තියුණුවූ යකඩ හුලකින් කණ පසා කිරීම තිබේවා, මම මෙයම මෙනෙහි කරමි. කණ මෙසේ අනිත්‍යය. ශබ්දයෝ අනිත්‍යයෝය. සෝත විඤ්ඤාණය අනිත්‍යය. සෝත සම්ඵස්සය අනිත්‍යය. සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක් වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද අනිත්‍යයි.

’’ඇවිලගත්තාවූ දිලිසෙන්නාවූ ගිනිදැල් සහිතවූ තියුණුවූ නියනකින් නාසය උපුටා දැමීම තිබේවා, මම මෙයම මෙනෙහි කරමි. මෙසේ නාසය අනිත්‍යය. ගන්‍ධයෝ අනිත්‍යයෝය. ඝාණ විඤ්ඤාණය අනිත්‍යය. ඝාණ සම්ඵස්සය අනිත්‍යය. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක් වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද අනිත්‍යයි.

’’ඇවිලගත්තාවූ දිලිසෙන්නාවූ ගිනිදැල් සහිතවූ තියුණුවූ දැලි පිහියකින් දිව කපා දැමීම තිබේවා, මම මෙයම මෙනෙහි කරමි. මෙසේ දිව අනිත්‍යය. රසයෝ අනිත්‍යයෝය. ජිව්හා විඤ්ඤාණය අනිත්‍යය. ජිව්හා සම්ඵස්සය අනිත්‍යය. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක් වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද අනිත්‍යයි.

’’ඇවිලගත්තාවූ දිලිසෙන්නාවූ ගිනිදැල් සහිතවූ තියුණුවූ මහත් වෑයකින් කය හැස දැමීම තිබේවා, මම මෙයම මෙනෙහි කරමි. මෙසේ කය අනිත්‍යය. ස්පර්‍ශයෝ අනිත්‍යයෝය. කාය විඤ්ඤාණය අනිත්‍යය. කාය සම්ඵස්සය අනිත්‍යය. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක් වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද අනිත්‍යයි.

’’වැදහෙව නිදාගැණීම තිබේවා. මම මෙයම මෙනෙහි කරමි. මෙසේ සිත අනිත්‍යය. ධර්‍මයෝ අනිත්‍යයෝය. මනෝ විඤ්ඤාණය අනිත්‍යය. මනෝ සම්ඵස්සය අනිත්‍යය. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක් වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, මෙයද අනිත්‍යයි.

’’මහණෙනි, මෙසේ දක්නා වූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකතෙම ඇස කෙරෙහිද කලකිරෙයි. රූපයන් කෙරෙහිද කලකිරෙයි. චක්ඛු විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. චකඛු සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි.

කණ කෙරෙහිද කලකිරෙයි. ශබ්දයන් කෙරෙහිද කලකිරෙයි. සෝත විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. සෝත සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි.

නාසය කෙරෙහිද කලකිරෙයි. ගන්‍ධයන් කෙරෙහිද කලකිරෙයි. ඝාණ විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ඝාණ සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි.

දිව කෙරෙහිද කලකිරෙයි. රසයන් කෙරෙහිද කලකිරෙයි. ජිව්හා විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි.

කය කෙරෙහිද කලකිරෙයි. ස්පර්‍ශයන් කෙරෙහිද කලකිරෙයි. කාය විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. කාය සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි.

සිත කෙරෙහිද කලකිරෙයි. ධර්‍මයන් කෙරෙහිද කලකිරෙයි. මනෝ විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. මනෝ සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි.

මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක් වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එය කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇල්මෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේය යන දැනීම වේ. ජාතිය ක්‍ෂය විය. බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවන ලද්දේය. සතර මාර්‍ගයෙන් කළයුත්ත කරණ ලදී. මෙයින් අන්‍ය වූ අනෙක් ආත්මභවයක් නැතැයි දැනගනියි. මහණෙනි, මේ වනාහි ආදිත්තපරියාය නම්වූ ධර්‍ම දේශනාව වේයයි, (වදාළ සේක.)