සංයුත්තනිකායො
සළායතන වර්‍ගය
1. සළායතන සංයුත්තය
7. මිගජාල වර්‍ගය
2. මිගජාල සුත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. ඉක්බිති ආයුෂ්මත් මහාජාල ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ආයුෂ්මත් මහාජාල ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය.
’’ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේගේ යම් ධර්‍මයක් අසා, එකලාව, සමූහයෙන් වෙන්ව, අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තව, ආත්ම පරිත්‍යාගයෙන් යුක්තව වාසය කරන්නෙම්ද, භාග්‍යවතුන් වහන්සේ මට එබඳු ධර්‍මයක් දේශනා කරන්නේ නම් මැනව’’ කියායි.
’’මිගජාලය, චක්ඛු විඤ්ඤාණයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කමනීයවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමයෙන් යුක්තවූ, ඇලුම් කටයුතුවූ රූපයෝ ඇත්තාහුමය. ඉදින් මහණතෙම ඊට ඇලෙයිද, එය ප්‍රියයයි, මනාපයයි කියාද, එහි ගිලෙයිද, එහි ඇලෙන්නාවූ, එය ප්‍රියයයි, මනාපයයි කියන්නාවූ, එහි ගිලුනාවූ ඔහුට තෘෂ්ණාව උපදියි. මිගජාලය, තෘෂ්ණාව නිසා දුක් ඉපදීම වේ යයි කියමි.’’
’’මිගජාලය, සෝත විඤ්ඤාණයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කමනීයවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමයෙන් යුක්තවූ, ඇලුම් කටයුතුවූ ශබ්දයෝ ඇත්තාහුමය. ඉදින් මහණතෙම ඊට ඇලෙයිද, එය ප්‍රියයයි, මනාපයයි කියාද, එහි ගිලෙයිද, එහි ඇලෙන්නාවූ, එය ප්‍රියයයි, මනාපයයි කියන්නාවූ, එහි ගිලුනාවූ ඔහුට තෘෂ්ණාව උපදියි. මිගජාලය, තෘෂ්ණාව නිසා දුක් ඉපදීම වේ යයි කියමි.’’
’’මිගජාලය, ඝාණ විඤ්ඤාණයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කමනීයවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමයෙන් යුක්තවූ, ඇලුම් කටයුතුවූ ගන්‍ධයෝ ඇත්තාහුමය. ඉදින් මහණතෙම ඊට ඇලෙයිද, එය ප්‍රියයයි, මනාපයයි කියාද, එහි ගිලෙයිද, එහි ඇලෙන්නාවූ, එය ප්‍රියයයි, මනාපයයි කියන්නාවූ, එහි ගිලුනාවූ ඔහුට තෘෂ්ණාව උපදියි. මිගජාලය, තෘෂ්ණාව නිසා දුක් ඉපදීම වේ යයි කියමි.’’
’’මිගජාලය, ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කමනීයවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමයෙන් යුක්තවූ, ඇලුම් කටයුතුවූ රසයෝ ඇත්තාහුමය. ඉදින් මහණතෙම ඊට ඇලෙයිද, එය ප්‍රියයයි, මනාපයයි කියාද, එහි ගිලෙයිද, එහි ඇලෙන්නාවූ, එය ප්‍රියයයි, මනාපයයි කියන්නාවූ, එහි ගිලුනාවූ ඔහුට තෘෂ්ණාව උපදියි. මිගජාලය, තෘෂ්ණාව නිසා දුක් ඉපදීම වේ යයි කියමි.’’
’’මිගජාලය, කාය විඤ්ඤාණයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කමනීයවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමයෙන් යුක්තවූ, ඇලුම් කටයුතුවූ ස්පර්‍ශයෝ ඇත්තාහුමය. ඉදින් මහණතෙම ඊට ඇලෙයිද, එය ප්‍රියයයි, මනාපයයි කියාද, එහි ගිලෙයිද, එහි ඇලෙන්නාවූ, එය ප්‍රියයයි, මනාපයයි කියන්නාවූ, එහි ගිලුනාවූ ඔහුට තෘෂ්ණාව උපදියි. මිගජාලය, තෘෂ්ණාව නිසා දුක් ඉපදීම වේ යයි කියමි.’’
’’මිගජාලය, මනෝ විඤ්ඤාණයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කමනීයවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමයෙන් යුක්තවූ, ඇලුම් කටයුතුවූ ධර්‍මයෝ ඇත්තාහ. ඉදින් මහණතෙම එහි ඇලෙයිද, එය ප්‍රියයයි, මනාපයයි කියාද, එහි ගැලී සිටීද, එහි ඇලෙන්නාවූ, එය ප්‍රියයයි, මනාපයයි කියන්නාවූ, එහි ගැලී සිටින්නාවූ ඔහුට තෘෂ්ණාව උපදියි. මිගජාලය, තෘෂ්ණාව නිසා දුක් ඉපදීම වේ යයි කියමි.’’
’’මිගජාලය, චක්ඛු විඤ්ඤාණයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමයෙන් යුක්තවූ, ඇලුම් කටයුතුවූ රූපයෝ ඇත්තාහ. ඉදින් මහණතෙම එහි නොඇලේද, එය ප්‍රියයයි, මනාපයයි නොකියාද, එහි නොගිලේද, එහි නොඇලෙන්නාවූ, එය ප්‍රියයයි, මනාපයයි නොකියන්නාවූ, එහි ගැලී නොසිටින්නාවූ ඔහුගේ තෘෂ්ණාව නිරුද්‍ධ වේ. මිගජාලය, තෘෂ්ණාව නිරුද්‍ධවීමෙන් දුක් නිරුද්‍ධවීම වේ යයි කියමි.’’
’’මිගජාලය, සෝත විඤ්ඤාණයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමයෙන් යුක්තවූ, ඇලුම් කටයුතුවූ ශබ්දයෝ ඇත්තාහ. ඉදින් මහණතෙම එහි නොඇලේද, එය ප්‍රියයයි, මනාපයයි නොකියාද, එහි නොගිලේද, එහි නොඇලෙන්නාවූ, එය ප්‍රියයයි, මනාපයයි නොකියන්නාවූ, එහි ගැලී නොසිටින්නාවූ ඔහුගේ තෘෂ්ණාව නිරුද්‍ධ වේ. මිගජාලය, තෘෂ්ණාව නිරුද්‍ධවීමෙන් දුක් නිරුද්‍ධවීම වේ යයි කියමි.’’
’’මිගජාලය, ඝාණ විඤ්ඤාණයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමයෙන් යුක්තවූ, ඇලුම් කටයුතුවූ ගන්‍ධයෝ ඇත්තාහ. ඉදින් මහණතෙම එහි නොඇලේද, එය ප්‍රියයයි, මනාපයයි නොකියාද, එහි නොගිලේද, එහි නොඇලෙන්නාවූ, එය ප්‍රියයයි, මනාපයයි නොකියන්නාවූ, එහි ගැලී නොසිටින්නාවූ ඔහුගේ තෘෂ්ණාව නිරුද්‍ධ වේ. මිගජාලය, තෘෂ්ණාව නිරුද්‍ධවීමෙන් දුක් නිරුද්‍ධවීම වේ යයි කියමි.’’
’’මිගජාලය, ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමයෙන් යුක්තවූ, ඇලුම් කටයුතුවූ රසයෝ ඇත්තාහ. ඉදින් මහණතෙම එහි නොඇලේද, එය ප්‍රියයයි, මනාපයයි නොකියාද, එහි නොගිලේද, එහි නොඇලෙන්නාවූ, එය ප්‍රියයයි, මනාපයයි නොකියන්නාවූ, එහි ගැලී නොසිටින්නාවූ ඔහුගේ තෘෂ්ණාව නිරුද්‍ධ වේ. මිගජාලය, තෘෂ්ණාව නිරුද්‍ධවීමෙන් දුක් නිරුද්‍ධවීම වේ යයි කියමි.’’
’’මිගජාලය, කාය විඤ්ඤාණයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමයෙන් යුක්තවූ, ඇලුම් කටයුතුවූ ස්පර්‍ශයෝ ඇත්තාහ. ඉදින් මහණතෙම එහි නොඇලේද, එය ප්‍රියයයි, මනාපයයි නොකියාද, එහි නොගිලේද, එහි නොඇලෙන්නාවූ, එය ප්‍රියයයි, මනාපයයි නොකියන්නාවූ, එහි ගැලී නොසිටින්නාවූ ඔහුගේ තෘෂ්ණාව නිරුද්‍ධ වේ. මිගජාලය, තෘෂ්ණාව නිරුද්‍ධවීමෙන් දුක් නිරුද්‍ධවීම වේ යයි කියමි.’’
’’මිගජාලය, මනෝ විඤ්ඤාණයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමයෙන් යුක්තවූ, ඇලුම් කටයුතුවූ ධර්‍මයෝද ඇත්තාහ. ඉදින් මහණතෙම එහි නොඇලේද, ප්‍රියයයි, මනාපයයි නොකියාද, එහි නොගිලී සිටීද, එහි නොඇලෙන්නාවූ, ප්‍රියයයි, මනාපයයි නොකියන්නාවූ, එහි නොගිලුණාවූ ඔහුගේ තෘෂ්ණාව නිරුද්‍ධ වේ. මිගජාලය, තෘෂ්ණාව නිරුද්‍ධවීමෙන් දුක් නිරුද්‍ධ වේ යයි කියමි.’’ යි වදාළ සේක.
ඉක්බිති ආයුෂ්මත් මිගජාල ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගෙණ, අනුමෝදන්ව, හුනස්නෙන් නැගිට, භාග්‍යවතුන් වහන්සේට වැඳ, ගෞරව දක්වා වැඩියේය. ඉක්බිති ආයුෂ්මත් මිගජාල ස්ථවිරතෙම හුදකලාව සමූහයාගෙන් වෙන්ව, අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තව, ආත්මාලය දුරුකොට වාසය කරන්නේ නොබෝ කලකින්ම යමක් සඳහා කුලපුත්‍රයෝ මනාකොට ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවෙත්ද, මාර්‍ග බ්‍රහ්මචර්‍ය්‍යාව කෙළවරකොට ඇති ඒ උතුම් අර්ත්‍ථය මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂකොට ඊට පැමිණ වාසය කෙළේය.
’’ජාතිය ක්‍ෂයවිය. බ්‍රහ්මචර්‍ය්‍යයාවෙහි හැසිර නිමවන ලද්දේය. සතර මගින් කළයුත්ත කරණ ලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි විශෙෂයෙන් දැනගත් සේක. ආයුෂ්මත් මිගජාල ස්ථවිර තෙමේ රහතුන් අතුරෙන් එක්තරා කෙනෙක්ද වූයේයයි වදාළ සේක.