සංයුත්තනිකායො

සළායතන වර්‍ගය

1. සළායතන සංයුත්තය

8. ගිලාන වර්‍ගය

4. රාධ සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී ආයුෂ්මත් රාධ ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක් පසෙක හුන්නේය. එකත් පසෙක හුන්නාවු ආයුෂ්මත් රාධ ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය.

’’ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේගේ යම් ධර්‍මයක් අසා, හුදකලාව, සමූහයාගෙන් වෙන්ව, අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තව, ආත්ම පරිත්‍යාගයෙන් වාසය කරන්නෙම්ද, භාග්‍යවතුන් වහන්සේ මට එබඳු ධර්මයක් සැකෙවින් දේශනා කරණ සේක් නම් මැනවැ’’ යි කීය.

’’රාධය, යමක් වනාහි දුකද, එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. රාධය, කුමක් දුකද? රාධය, ඇස වනාහි දුකය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. රූපයෝ දුකය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. චක්ඛු විඤ්ඤාණය දුකය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. චක්ඛු සම්ඵස්සය දුකය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. චක්ඛු සම්ඵස්සය නිසා යම් සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද දුකය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි.

’’කණ වනාහි දුකය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. ශබ්දයෝ දුකයහ. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. සෝත විඤ්ඤාණය දුකය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. සොත සම්ඵස්සය දුකය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. සෝත සම්ඵස්සය නිසා යම් සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද දුකය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි.

’’නාසය වනාහි දුකය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. ගන්‍ධයෝ දුකයහ. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. ඝාණ විඤ්ඤාණය දුකය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. ඝාණ සම්ඵස්සය දුකවේ. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. ඝාණ සම්ඵස්සය නිසා යම් සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද දුකය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි.

’’දිව දුකය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. රසයෝ දුකයහ. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. ජිව්හා විඤ්ඤාණය දුකය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. ජිව්හා සම්ඵස්සය දුකය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. ජිව්හා සම්ඵස්සය නිසා යම් සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද දුකය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි.

’’කය දුකය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. ස්පර්‍ශයෝ දුකයහ. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. කාය විඤ්ඤාණය දුකය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. කාය සම්ඵස්සය දුකය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. කාය සම්ඵස්සය නිසා යම් සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද දුකය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි.

’’සිත දුක වේ. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. ධර්‍මයෝ දුකයහ. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. මනෝ විඤ්ඤාණය දුකය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. මනෝ සම්ඵස්සය දුකය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. මනෝ සම්ඵස්සය නිසා යම් සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද දුකය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. රාධය, යමක් වනාහි දුකද, එහි තොප විසින් ආලය දුරු කටයුත්තේය’’ යි වදාළ සේක.