සංයුත්තනිකායො
සළායතන වර්‍ගය
2. වේදනා සංයුත්තය
1. සගාථ වර්‍ගය
10. ඵසසමූල සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
’’මහණෙනි, ස්පර්‍ශයෙන් හටගත්තාවූ, ස්පර්ශය මුල්කොට ඇත්තාවූ, ස්පර්ශය නිදානකොට ඇත්තාවූ, ස්පර්ශය ප්‍රත්‍යයකොට ඇත්තාවූ මේ වේදනාවෝ තිදෙනෙකි. කවර තිදෙනෙක්ද යත්? සැප වේදනාය, දුක් වේදනාය, සැපත් නොවූ දුකත් නොවූ වේදනාය යන මොහුයි.
’’මහණෙනි, සැප වේදනාවට හේතුවන ස්පර්‍ශය නිසා සැප වේදනාව උපදී. ඒ සැප වේදනාවට හේතුවන ස්පර්‍ශයාගේ නිරුඬ වීමෙන් ඊට අනුරූපවූ සැප වේදනාවට හේතුවන ස්පර්‍ශය නිසා උපන් යම් සැප වේදනාවක් වේද, එය නිරුඬ වෙයි, සන්සිඳෙයි.
’’මහණෙනි, දුක් වේදනාවට හේතුවන ස්පර්‍ශය නිසා දුක් වේදනාව උපදී. ඒ දුක් වේදනාවට හේතුවන ස්පර්‍ශයාගේ නිරුඬ වීමෙන් ඊට අනුරූපවූ දුක් වේදනාවට හේතුවන ස්පර්‍ශය නිසා උපන් යම් දුක් වේදනාවක් වේද, එය නිරුඬ වෙයි, සංසිඳෙයි.
’’මහණෙනි, උපේක්‍ෂා වේදනාවට හේතුවන ස්පර්‍ශය නිසා උපේක්‍ෂා වේදනාව උපදී. ඒ උපේක්‍ෂා වේදනාවට හේතුවන ස්පර්‍ශයාගේ නිරුඬ වීමෙන් ඊට අනුරූපවූ උපේක්‍ෂා වේදනාවට හේතුවන ස්පර්‍ශය නිසා උපන් යම් උපේක්‍ෂා වේදනාවක් වේද, එය නිරුඬ වෙයි, සන්සිඳෙයි.
’’මහණෙනි, යම්සේ ලී දෙකක් ගැටීම, එක්වීම හේතුකොටගෙන උණුසුම හටගනියිද, ගින්න පහළවෙයිද, ඒ ලී දඬු දෙක වෙන් කිරීම, ඈත් කිරීම නිසා එයින් උපන් උණුසුම නිරුඬවේද, සන්සිඳේද, ,මහණෙනි, එමෙන් ඒ ත්‍රිවිධ වේදනාවෝ ස්පර්‍ශයෙන් හටගත්තාහුය. ස්පර්‍ශය මුල්කොට ඇත්තාහ. ස්පර්‍ශය නිදානකොට ඇත්තාහ. ස්පර්‍ශය ප්‍රත්‍යයකොට ඇත්තාහ. ඊට සුදුසු සුදුසුවූ ස්පර්‍ශය නිසා ඊට සුදුසු සුදුසුවූ වේදනා උපදිත්. ඊට සුදුසු සුදුසුවූ ස්පර්‍ශයාගේ නිරුඬවීම හේතුකොටගෙන සුදුසු සුදුසුවූ වේදනා නිරුඬවෙත්ය, යි වදාළ සේක.
පළමුවෙනි සගාථ වර්‍ගය නිමි.