සංයුත්තනිකායො

සළායතන වර්‍ගය

2. වේදනා සංයුත්තය

3. අට්ඨසත පරියාය වර්‍ගය

9. ශ්‍රමණ බ්‍රාහ්මණ සූත්‍රය. (3)

මා විසින් මෙසේ අසන ලදී. එක් කාලක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි,’යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

’’මහණෙනි, යම්කිසි ශ්‍රමණකෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ වේදනාව නොදනිත්ද, වේදනාවන්ගේ හටගැනීම නොදනිත්ද, වේදනා නිරෝධය නොදනිත්ද, වේදනා නිරෝධයට පැමිණෙන ප්‍රතිපදාව නොදනිත්ද, මහණෙනි, ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්දණයෝ හෝ ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණ සම්මතද බ්‍රාහ්මණයන් කෙරෙහි බ්‍රාහ්මණ සම්මතද නොවෙත්. ඒ ආයුෂ්මත්හු ශ්‍රමණ භාවයේ අර්ත්‍ථය හෝ බ්‍රාහ්මණ භාවයේ අර්ත්‍ථය හෝ මේ ආත්මයෙහිදීම තෙමේ දැන, ප්‍රත්‍යක්‍ෂකොට, ඊට පැමිණ වාසය නොකෙරෙත්.

’’මහණෙනි, යම්කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ වේදනාව දනිත්ද, වේදනාවන්ගේ හටගැනීම දනිත්ද, වේදනා නිරෝධය දනිත්ද, වේදනා නිරෝධයට පැමිණෙන ප්‍රතිපදාව දනිත්ද, මහණෙනි, ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණ සම්මතද, බ්‍රාහ්මණයන් කෙරෙහි බ්‍රාහ්මණ සම්මතද වෙත්. ඒ ආයුෂ්මත්හු ශ්‍රමණභාවයේ අර්ත්‍ථය හෝ බ්‍රාහ්මණභාවයේ අර්ත්‍ථය හෝ මේ ආත්මයෙහිදීම තෙමේ (විශ්ෂ්ට ඥානයෙන්) දැන ප්‍රත්‍යක්‍ෂකොට ඊට පැමිණ වෙසෙත්.