සංයුත්තනිකායො
සළායතන වර්‍ගය
6. මොග්ගල්ලාන සංයුත්තය
2. අවිතක්ක සූත්‍රය
(මෙතැන් සිට 9 වෙනි සූත්‍රය දක්වා 1 ඡෙද මෙහි 1 වෙනි සූත්‍රයේ මෙන් යොදාගන්න.)
“ද්විතීයධ්‍යානය ද්විතීයධ්‍යානයයි කියනු ලැබේ. ද්විතීයධ්‍යානය කවරේද?
“ඇවැත්නි, ඒ මට මෙසේ සිත්විය. මේ ශාසනයෙහි මහණතෙම විතර්ක විචාරයන්ගේ සන්සිඳ වීමෙන් අධ්‍යාත්මයෙහි පැහැදීම් ඇති සිත හා එකඟ කරන්නාවූ විතර්ක නැති විචාර නැති සමාධියෙන් උපන් ප්‍රීතිය හා සැප ඇති ද්විතීයධ්‍යානයට පැමිණ වාසය කෙරේද, මේ ද්විතීයධ්‍යානයයි’‘ කියනු ලැබේ. ඇවැත්නි, ඒ මම විතර්ක විචාරයන් සන්සිඳවීමෙන් අධ්‍යාත්මයෙහි පැහැදීම් ඇති සිතේ එකඟ බව ඇති විතර්කය නැති විචාරය නැති සමාධියෙන් උපන් ප්‍රීතිය හා සැප ඇති ද්විතීයධ්‍යානයට පැමිණ වාසය කරමි.
“මේ විහරණයෙන් වාසය කරන්නාවූ ඒ මට විතර්ක සහිතවූ හැඟීම් මෙනෙහි කිරීම් පහළ වෙත්. ඇවැත්නි, එකල්හි භාග්‍යවතුන් වහන්සේ මා කරා ඉර්ධියෙන් පැමිණ මෙසේ වදාළසේක. “මොග්ගල්ලානය, මොග්ගල්ලානය, බ්‍රාහ්මණය, ද්විතීයධ්‍යානයෙහි ප්‍රමාද නොවව. ද්විතීයධ්‍යානයෙහි සිත පිහිටව. ද්විතීයධ්‍යානයෙහි සිත එකඟ කරව. ද්විතීයධ්‍යානයෙහි සිත තබව කියායි. ඇවැත්නි, පසුව ඒ මම විතර්ක විචාරයන්ගේ සංසිඳවීමෙන් අධ්‍යාත්මයෙහි පැහැදීම ඇති සිතේ එකඟබව ඇති විතර්ක නැති විචාර නැති, සමාධියෙන් උපන් ප්‍රීතිය හා සැප ඇති ද්විතීයධ්‍යානයට පැමිණ වාසය කෙළෙමි.
“ඇවැත්නි, යම් ශ්‍රාවකයෙකුට ශාස්තෲන් වහන්සේ විසින් අනුග්‍රහ කරන ලද ශ්‍රාවක තෙම මහත් නුවණැති බවට පැමිණියේයයි කියන්නේ නම්, ශාස්තෲන් වහන්සේ විසින් අනුග්‍රහ කරන ලද ශ්‍රාවක තෙම මහත් නුවණැති බවට පැමිණියේයයි ඒ මා උදෙසා මනාකොට කියන්නේය.”