සංයුත්තනිකායො
සළායතන වර්‍ගය
6. මොග්ගල්ලාන සංයුත්තය
3. සුඛ සූත්‍රය
“තෘතීයධ්‍යානය තෘතීයධ්‍යානයයයි කියනු ලැබේ. තෘතීයධ්‍යානය කවරේද?
“ඇවැත්නි, ඒ මට මෙසේ සිත් විය. ‘මේ ශාසනයෙහි මහණතෙම ප්‍රීතියෙන් වෙන්ව උපෙක්ෂාවෙන් යුක්තවූයේ වාසය කරයිද, සිහි ඇත්තේ සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තවූයේ කයින් සැපය විඳියිද, යමෙකුට උපෙක්ෂා සිහි ඇත්තේ සැපසේ වාසය කෙරේයයි ආර්යයෝ කියත් නම් ඒ තෘතීයධ්‍යානයට පැමිණ වාසය කරයිද, මේ තෘතීයධ්‍යානයයි කියනු ලැබේ.
“ඇවැත්නි, ඒ මම ප්‍රීතියෙන් වෙන්වීමෙන් උපෙක්ෂාවෙන් යුක්තව වාසය කරමි. සිහියෙන් හා ප්‍රඥාවෙන් යුක්තවූ කයින් සැපය විඳිමි. උපෙක්ෂා ඇත්තේ සිහි ඇත්තේ සැප සේ වාසය කෙරේයයි යමෙකුට ආර්යයෝ කියත් නම් ඒ තෘතීයධ්‍යානයට පැමිණ වාසය කරමි.
“ඇවැත්නි, ඒ විහරණයෙන් වාසය කරන්නාවූ මට ප්‍රීති සහගතවූ හැඟීම් මෙනෙහි කිරීම් පහළ වෙති. ඇවැත්නි එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඉර්ධියෙන් මාවෙත පැමිණ මෙසේ වදාළ සේක. මොග්ගල්ලානය, මොග්ගල්ලානය, බ්‍රාහ්මණය, තෘතීයධ්‍යානයෙහි ප්‍රමාද නොවව. තෘතීයධ්‍යානයෙහි සිත පිහිටුව. තෘතීයධ්‍යානයෙහි සිත එකඟ කරව. තෘතීයධ්‍යානයෙහි සිත තබව කියායි.
“ඇවැත්නි, ඒ මම පසුව ප්‍රීතියෙන් වෙන්වීමෙන් උපෙක්ෂාවෙන් යුක්තව වාසය කෙළෙමි. සිහියෙන් යුක්තව ප්‍රඥාවෙන් යුක්තව කයින් සැපයද වින්දෙමි. උපෙක්ෂාවෙන් යුක්තව සිහියෙන් යුක්තව සැපසේ වාසය කෙරේ යයි යමෙකුට ආර්යයෝ කියත්නම් ඒ තෘතීයධ්‍යානයට පැමිණ වාසය කෙළෙමි.
“ඇවැත්නි, යම් ශ්‍රාවකයෙකුට ශාස්තෲන් වහන්සේ විසින් අනුග්‍රහ කරනලද ශ්‍රාවක තෙම මහත් නුවණැති බවට පැමිණියේයයි කියන්නේනම්, ශාස්තෲන් වහන්සේ විසින් අනුග්‍රහ කරනලද ශ්‍රාවක තෙම මහත් නුවණැති බවට පැමිණියේයයි ඒ මා උදෙසා මනාකොට කියන්නේය.”