සංයුත්තනිකායො
සළායතන වර්‍ගය
6. මොග්ගල්ලාන සංයුත්තය
4. උපෙක්ඛා සූත්‍රය
චතුර්ථධ්‍යානය චතුර්ථධ්‍යානයයි කියනු ලැබේ. චතුර්ථධ්‍යානය කවරේද? ඇවැත්නි ඒ මට මෙසේ සිත් විය. මේ ශාසනයෙහි මහණතෙම සුඛය පහ කිරීමෙන්ද, දුක පහකිරීමෙන්ද පළමුව සොම්නස දොම්නස දෙදෙනා දුරු කිරීමෙන් දුක්ද නැති සැපද නැති උපෙක්ෂා ස්මෘති දෙදෙනාගේ පිරිසිදු බව ඇති චතුර්ථධ්‍යානයට පැමිණ වාසය කෙරෙයිද මේ චතුර්ථධ්‍යානයයි කියනු ලැබේ.
“ඇවැත්නි, ඒ මම සුඛය පහකිරීමෙන්ද, දුක පහකිරීමෙන්ද, පළමුව සොම්නස් දොම්නස් දෙදෙනාගේ දුරුකිරීමෙන් දුකද නැති සැපද නැති උපෙක්ෂා ස්මෘති දෙදෙනාගේ පිරිසිදු බව ඇති චතුර්ථධ්‍යානයට පැමිණ වාසය කරමි.
“ඇවැත්නි, මේ විහරණයෙන් වාසය කරන්නාවූ ඒ මට සුඛ සහගතවූ හැඟීම් මෙනෙහි කිරීම් උපදිත්, ඇවැත්නි, එකල්හි භාග්‍යවතුන් වහන්සේ මා කරා ඉර්ධියෙන් පැමිණ මට මෙසේ වදාළසේක, ‘මොග්ගල්ලානය, මොග්ගල්ලානය, බ්‍රාහ්මණය, චතුර්ථධ්‍යානයෙහි ප්‍රමාද නොවව. චතුර්ථධ්‍යානයෙහි සිත පිහිටුව. චතුර්ථධ්‍යානයෙහි සිත එකඟ කරව. චතුර්ථධ්‍යානයෙහි සිත තබව කියායි.
“ඇවැත්නි. ඒ මම පසුව සුඛය පහකිරීමෙන්ද, දුක පහකිරීමෙන්ද, පළමුව සොම්නස් දොම්නස් දෙදෙනා දුරුකිරීමෙන් දුක්ද නැති, සැපද නැති, උපෙක්ෂා ස්මෘති දෙදෙනාගේ පිරිසිදු බව ඇති චතුර්ථධ්‍යානයට පැමිණ වාසය කෙළෙමි.
“ඇවැත්නි, යම් ශ්‍රාවකයෙකුට ශාස්තෲන් වහන්සේ විසින් අනුග්‍රහ කරණලද ශ්‍රාවකතෙම මහත් නුවණැති බවට පැමිණියේයයි කියන්නේනම්, ශාස්තෲන් වහන්සේ විසින් අනුග්‍රහ කරනලද ශ්‍රාවකතෙම මහත් නුවණැති බවට පැමිණියේයයි ඒ මා උදෙසා මනාකොට කියන්නේය.”