සංයුත්තනිකායො

සළායතන වර්‍ගය

6. මොග්ගල්ලාන සංයුත්තය

5. ආකාසානඤ්චායතන සූත්‍රය

“ආකාසානඤ්චායතනය ආකාසානඤ්චායතනයයි කියනුලැබේ. ආකාසානඤ්චායතනය කවරේද? ඇවැත්නි, ඒ මට මෙසේ සිත්විය. මහණෙනි, “මේ ශාසනයෙහි මහණතෙම සියලු ආකාරයෙන් රූප සංඥා ඉක්මීමෙන් ද්වාරාරම්මණ ගැටීම් දුරු කිරීමෙන් නානත්ත සංඥාවන් නොමෙනෙහි කිරීමෙන් ආකාසය අනන්තයයි ආකාසානඤ්චායතනයට පැමිණ වාසය කරයිද, මේ අකාසානඤ්චායතනයයි කියනු ලැබේ.

ඇවැත්නි, ඒ මම රූපසංඥා ඉක්මවීමෙන් ද්වාරාරම්ම ගැටීම් සංඥා දුරුකිරීමෙන් නොයෙක් සංඥා මෙනෙහි නොකිරීමෙන් ආකාසය අනන්තයෙහි ආකාසානඤ්චායතනයට පැමිණ වාසය කරමි.

“ඇවැත්නි, මේ විහරණයෙන් යුක්තව වසන්නාවූ මට රූප සහගතවූ සංඥා මනසිකාරයෝ පහළවෙත්. ඇවැත්නි, එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඉර්ධියෙන් මා කරා පැමිණ මෙසේ වදාළසේක. ‘මොග්ගල්ලානය, මොග්ගල්ලානය, බ්‍රාහ්මණය, ආකාසානඤ්චායතනයෙහි ප්‍රමාද නොවව, ආකාසානඤ්චායතනයෙහි සිත පිහිටුව. ආකාසානඤ්චායතනයෙහි සිත එකඟ කරව. ආකාසානඤ්චායතනයෙහි සිත තබව.

“ඇවැත්නි, ඒ මම පසුව සියලු ආකාරයෙන් රූපසංඥා ඉක්මීමෙන් ද්වාරාරම්මණ ගැටීම් දුරුකිරීමෙන් නානත්ත සංඥා නොමෙනෙහි කිරීමෙන් ආකාශය අනන්තයයි ආකාසානඤ්චායතනයට පැමිණ වාසය කරමි.

“ඇවැත්නි, යම් ශ්‍රාවකයෙකුට ශාස්තෲන් වහන්සේ විසින් අනුග්‍රහ කරනලද ශ්‍රාවක තෙම මහත් නුවණැති බවට පැමිණියේයයි කියන්නේ නම්, ශාස්තෲන් වහන්සේ විසින් අනුග්‍රහ කරනලද ශ්‍රාවකතෙම මහත් නුවණැති බවට පැමිණියේයයි. ඒ මා උදෙසා මනාකොට කියන්නේය.”