සංයුත්තනිකායො
සළායතන වර්‍ගය
7. චිත්ත සංයුත්තය
2. ඉසිදත්ත සූත්‍රය (1)
මා විසින් මෙසේ අසනලදී. එක් කාලයෙක්හි බොහෝ ස්ථවිර භික්ෂූහු අම්බාටක වනයෙහිවූ මච්ජිකාසණ්ඩ නම් වනලැහැබෙහි වාසය කරත්. එකල්හි චිත්ත ගෘහපති තෙම ස්ථවිර භික්ෂූහු යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ ස්ථවිර භික්ෂූන් වැඳ එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන් චිත්ත ගෘහපතිතෙම ස්ථවිර භික්ෂූන්ට ‘ස්වාමීනි, තෙරුන් වහන්සේලා හෙට දවස පිණිස මගේ බත (දානය) ඉවසාවායි’ කීයේය. ස්ථවිර භික්ෂූහු තුෂ්ණිම්භාවයෙන් ඉවසූහ.
එකල්හි චිත්ත ගෘහපතිතෙම ස්ථවිර භික්ෂූන්ගේ ඉවසීම දැන හුන් අස්නෙන් නැගිට ස්ථවිර භික්ෂූන් වැඳ ගෞරවකොට ගියේය. ඉක්බිති ස්ථවිර භික්ෂූහු ඒ රාත්‍රියගේ ඇවෑමෙන් පෙරවරු වේලෙහි හැඳ පොරවා පාත්‍ර සිවුරු ගෙන චිත්ත ගෘහපතියාගේ ගෘහය යම් තැනෙක්හිද, එතැනට පැමිණියෝය. පැමිණ පණවන ලද අස්නෙහි හිඳගත්තාහුය.
ඉක්බිති චිත්ත ගෘහපතිතෙම ස්ථවිර භික්ෂූහු යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ ස්ථවිර භික්ෂූන් වැඳ එක් පසෙක හුන්නේය. එක්පසෙක හුන් චිත්ත ගෘහපතිතෙම ආයුෂ්මත් ස්ථවිරනමකට, ‘තෙරුන් වහන්ස, ධාතුනානත්වය ධාතුනානත්වයයි කියනු ලැබේ. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් කොපමණකින් ධාතුනානත්වය වදාරණ ලද්දේදැයි?” ඇසීය. මෙසේ කී කල්හි ආයුෂ්මත් ස්ථවිරතෙමේ නිශ්ශබ්ද විය.
දෙවනුවත් චිත්ත ගෘහපතිතෙම ආයුෂ්මත් ස්ථවිරයන්ට ‘ස්වාමීනි, ස්ථවිරයන් වහන්ස, ධාතුනානත්වය ධාතුනානත්වයයි කියනු ලැබේ. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් කොපමණකින් ධාතුනානත්වය වදාරණ ලද්දේදැයි” කීයේය. දෙවනුවත් ආයුෂ්මත් ස්ථවිරතෙම නිශ්ශබ්දවිය.
තුන් වෙනුවත් චිත්ත ගෘහපතිතෙම ආයුෂ්මත් ස්ථවිරයන්ගෙන් “ස්වාමීනි, තෙරුන් වහන්ස ධාතුනානත්වය ධාතුනානත්වයයි කියනු ලැබේ. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් කොපමණකින් ධාතුනානත්වය වදාරණ ලද්දේවේදැයි?” ඇසීය. තුන්වෙනුවත් ආයුෂ්මත් ස්ථවිරතෙම නිශ්ශබ්දවිය.
එකල්හි වනාහි ආයුෂ්මත් ඉසිදත්ත ස්ථවිරතෙමේ ඒ භික්ෂුසංඝයා අතර සියල්ලන්ට බාල වූයේ වෙයි. එකල්හි ආයුෂ්මත් ඉසිදත්ත ස්ථවිරතෙමේ ආයුෂ්මත් ස්ථවිරයන්ට “ස්වාමීනි, තෙරුන්වහන්ස, චිත්ත ගෘහපතිහුගේ මේ ප්‍රශ්නය මම ප්‍රකාශ කරමියි” කීයේය. “ඇවැත්නි, ඉසිදත්තය, චිත්ත ගෘහපතීහුගේ මේ ප්‍රශ්නය ඔබ ප්‍රකාශ කරව.”
“ගෘහපතිය, ස්වාමිනි තෙරුන්වහන්ස, ධාතුනානත්වය ධාතුනානත්වයයි කියනු ලැබේ. ‘ස්වාමීනි ස්ථවිරයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් කොපමණකින් ධාතුනානත්වය වදාරණ ලද්දේදැයි’ මෙසේ ප්‍රශ්න කරන්නෙහිද?”
“එසේය, ස්වාමීනි.”
“ගෘහපතිය, භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ ධාතුනානත්වය වදාරණලදී. කෙසේද? චක්ෂුධාතු, රූපධාතු චක්ඛුවිඤ්ඤාණධාතු, සොතධාතු, සද්දධාතු, සොත විඤ්ඤාණ ධාතු, ඝානධාතු, ගන්ධධාතු, ඝාන විඤ්ඤාණධාතු, ජිව්හා ධාතු, රසධාතුය, ජිව්හා විඤ්ඤාණධාතු, කාය ධාතුය, ස්පර්ශධාතු, කාය විඤ්ඤාණධාතු, මනොධාතු, ධම්මධාතු, මනොවිඤ්ඤාණධාතු යනුවෙනි. ගෘහපතිය, භාග්‍යවතුන් වහන්සේ විසින් මෙපමණකින් ධාතුනානත්වය වදාරණලදී.”
ඉක්බිති චිත්ත ගෘහපතිතෙම ආයුෂ්මත් ඉසිදත්ත ස්ථවිරයන්ගේ කීමට සතුටුව අනුමෝදන්ව ස්ථවිර භික්ෂූන් ප්‍රණීතවූ කෑ යුතු බුදියයුතු දෙයින් සියතින් වැළඳවිය. පැවරවිය. ඉක්බිති වළඳා පාත්‍රයෙන් ඉවත්කළ අත් ඇති ස්ථවිර භික්ෂූහු හුනස්නෙන් නැගිට ගියාහුය. ඉක්බිති ආයුෂ්මත් ස්ථවිරතෙමේ ආයුෂ්මත් ඉසිදත්ත ස්ථවිරයන්ට “ඇවැත් ඉසිදත්තය, මේ ප්‍රශ්නය තොපට වැටහුණසැටි ඉතා යහපත්ය. ඒ ප්‍රශ්නය මට නොවැටහුනේය. ඇවැත් ඉසිදත්තය. එහෙයින් යම් අන් දිනකද මෙබඳු ප්‍රශ්නයක් එන්නේනම් තොපටම වැටහෙන්නේය. (තෙපිම ප්‍රකාශ කරත්වා)යි” කීය.