සංයුත්තනිකායො
සළායතන වර්‍ගය
7. චිත්ත සංයුත්තය
7. ගෝදත්ත සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි ගොදත්ත ස්ථවිරයන් වහන්සේ අම්බාටක වනයෙහිවූ මච්ඡිකාසණ්ඩනම් වනලැහැබෙහි වාසය කරණසේක. එකල්හි චිත්ත ගෘහපතිතෙම ආයුෂ්මත් ගොදත්ත ස්ථවිරතෙමේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ ආයුෂ්මත් ගොදත්ත තෙරුන් වැඳ එකත්පසෙක හුන්නේය. එක්පසෙක හුන් චිත්ත ගෘහපතිහට ආයුෂ්මත් ගොදත්ත ස්ථවිරතෙම “ගෘහපතිය, යම් මේ අප්පමාණ චෙතො විමුක්තියක් වේද යම් ආකිඤ්චඤ්ඤා චෙතො විමුක්තියක් වේද, යම් සුඤ්ඤාතා චෙතො විමුක්තියක් වේද යම් අනිමිත්ත චෙතො විමුක්තියක් වේද මේ ධර්මයෝ වෙන්වූ අර්ථ ඇත්තාහුද වෙන්වූ ව්‍යඤ්ජන ඇත්තාහු නොහොත් සමානාර්ථ ඇත්තාහුද සමාන ව්‍යඤ්ජන ඇත්තාහු දැයි” ඇසීය.
“ස්වාමීනි, යම් කරුණකට පැමිණ මේ ධර්මයෝ නොයෙක් අර්ථයහ. නොයෙක් ව්‍යඤ්ජන ඇත්තාහුද එවැනි ආකාරයක් ඇත්තේය. යම් කරුණකට පැමිණ මේ ධර්මයෝ සමානාර්ථ සහ සමාන ව්‍යඤ්ජන ඇත්තාහුද එවැනි ආකාරයක්ද ඇත්තේය. ස්වාමීනි, යම් කරුණකට පැමිණ නොයෙක් අර්ථ සහ නොයෙක් ව්‍යඤ්ජන ඇත්තාහුද, ඒ ආකාරය කවරේද? ස්වාමීනි, මේ ශාසනයෙහි මහණතෙම මෛත්‍රී සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කරයිද එසේම දෙදිසාවක්, තෙදිසාවක්, සතර දිසාවක් මෙසේ උඩ යට සරස සර්වප්‍රකාරයෙන් සියලු තැන සියලු ලෝකය මහත්වූ මහත් බවට පැමිණියාවූ අප්‍රමාණවූ වෛර නැත්තාවූ ව්‍යාපාද නැත්තාවූ මෛත්‍රී සහගත සිතින් පතුරුවා වාසය කරයිද කරුණා සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කරයිද එසේම දෙදිසාවක්, තෙදිසාවක්, සතර දිසාවක්, මෙසේ උඩ යට සරස සර්වප්‍රකාරයෙන් සියලු තැන සියලු ලෝකය මහත්වූ මහත් බවට පැමිණියාවූ අප්‍රමාණවූ වෛර නැත්තාවූ ව්‍යාපාද නැත්තාවූ කරුණා සහගත සිතින් පතුරුවා වාසය කරයිද මුදිතා සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කරයිද, එසේම දෙදිසාවක් තෙදිසාවක්, සතරදිසාවක්, මෙසේ උඩ යට සරස සර්වප්‍රකාරයෙන් සියලු තැන සියලු ලෝකය මහත්වූ මහත් බවට පැමිණියාවූ අප්‍රමාණවූ වෛර නැත්තාවූ ව්‍යාපාද නැත්තාවූ මුදිතා සහගත සිතින් පතුරුවා වාසය කරයිද උපෙක්ෂා සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කරයිද එසේම දෙදිසාවක්, තුන් දිසාවක්, සතර දිසාවක් මෙසේ උඩ යට සරස සර්වප්‍රකාරයෙන් සියලු තැන සියලු ලෝකය මහත්වූ මහත් බවට ගියාවූ අප්‍රමාණවූ වෛර නැත්තාවූ ව්‍යාපාද නැත්තාවූ උපෙක්ෂා සහගත සිතින් පතුරුවා වාසය කරයිද ස්වාමීනි, මේ අප්‍රමාණ චෙතො විමුක්තියයි කියනු ලැබේ.
“ස්වාමීනි, ආකිඤ්චඤ්ඤා චෙතො විමුක්තිය කවරේද? ස්වාමීනි, මේ ශාසනයෙහි මහණතෙම සර්වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වාසය කරයිද, ස්වාමීනි, මේ ආකිඤ්චඤ්ඤාචෙතො විමුක්තියයයි කියනු ලැබේ.
“ස්වාමීනි, සුඤ්ඤතා චෙතො විමුක්තිය කවරේද, ස්වාමීනි, මේ ශාසනයෙහි මහණතෙම ආරණ්‍යයකට ගියේ හෝ වෘක්ෂමූලයකට ගියේ හෝ ශුන්‍යාගාරයකට ගියේ හෝ මේ පඤ්චස්කන්ධය මමය මාගේයයි ගතයුත්තකින් සූන්‍යයයි මෙසේ මෙනෙහි කරන්නේද ස්වාමීනි, මෙය සුඤ්ඤතා චෙතො විමුක්තියයි කියනු ලැබේ.
“ස්වාමීනි, අනිමිත්ත චෙතො විමුක්තිය කවරේද? ස්වාමීනි, මේ ශාසනයෙහි මහණතෙම සියලු රාගාදී නිමිතින් නොමෙනෙහි කිරීමෙන් අනිමිත්ත චෙතො සමාධියට පැමිණ වාසය කරයිද, ස්වාමීනි, මේ අනිමිත්ත චෙතො සමාධියයි කියනු ලැබේ.
“ස්වාමීනි, යම් ආකාරයකට පැමිණ මේ ධර්මයෝ නොයෙක් අර්ථයහ. නොයෙක් ව්‍යඤ්ජන ඇත්තාහුද මේ ඒ ආකාරයයි.
“ස්වාමීනි, යම් ආකාරයකට පැමිණ මේ ධර්මයෝ සමානාර්ථයහ. සමාන ව්‍යඤ්ජන ඇත්තාහුද ඒ ආකාරය කවරේද? ස්වාමීනි. රාගය ප්‍රමාණකර වෙයි, ද්වේෂය ප්‍රමාණ කරවෙයි, මොහය ප්‍රමාණ කරවෙයි ක්ෂීණාශ්‍රව භික්ෂුවගේ ඔව්හු ප්‍රහීණ වූවාහුය. සිඳිනලද මුල් ඇත්තාහ. අග සිඳිනලද තල්ගසක් මෙන් කරන ලද්දාහ. නැවත ඇතිවීම නැති කරන ලද්දාහ. මතු නූපදින ස්වභාව ඇත්තාහ. ස්වාමීනි, යම්තාක් අප්පමාණ චෙතො විමුක්ති ඇත්තාහුද ඔවුන් අතුරෙන් අර්හත්ඵල චෙතො විමුක්තිය අග්‍රයයි කියනු ලැබේ. ඒ අර්හත්ඵල චෙතො විමුක්තිය රාගයෙන් ශුන්‍යය, ද්වේෂයෙන් ශුන්‍යය, මොහයෙන් ශුන්‍යය.
“ස්වාමීනි, රාගය පීඩාවකි. ද්වේෂය පීඩාවකි. මොහය පීඩාවකි. ක්ෂීණාශ්‍රව භික්ෂුවගේ ඔව්හු පහවූවාහුය. සිඳිනලද මුල් ඇත්තාහ. අග සිඳිනලද තල්ගසක් මෙන් කරන ලද්දාහ. අභාවයට යවන ලද්දාහ. මතු නූපදින ස්වභාවය ඇත්තාහ.
“ස්වාමීනි, යම්තාක් ආකිඤ්චඤ්ඤා චෙතො විමුක්ති වෙත්ද, ඔවුන් අතුරෙන් අර්හත්ඵල චෙතො විමුක්තිය අග්‍රයයි කියනු ලැබේ. ඒ අර්හත්ඵල චෙතො විමුක්තිය රාගයෙන් ශුන්‍යය, ද්වේෂයෙන් ශුන්‍යය, මොහයෙන් ශුන්‍යය. ස්වාමීනි, රාගය සත්වයා සලකුණු කරන්නකි. ද්වේෂය සලකුණු කරන්නකි. මොහය සලකුණු කරන්නකි. ක්ෂිණාශ්‍රව භික්ෂුවගේ ඔව්හු පහවූහ. සිඳිනලද මුල් ඇත්තාහ. අග සිඳින ලද තල්ගසක් මෙන් කරන ලද්දාහ. මතු නූපදින ස්වභාවය ඇත්තාහ.
“ස්වාමීනි, යම්තාක් අනිමිත්ත චෙතො විමුක්ති ඇත්තාහුද, ඔවුන් අතුරෙන් අර්හත්ඵල චෙතො විමුක්තිය අග්‍රයයි කියනු ලැබේ. ඒ අර්හත්ඵල චෙතො විමුක්ති රාගයෙන් ශුන්‍යය. ද්වේෂයෙන් ශුන්‍යය. මොහයෙන් ශුන්‍යය. ස්වාමීනි, යම් ආකාරයකට පැමිණ මේ ධර්මයෝ සමානාර්ථ සහ සමාන ව්‍යඤ්ජන ඇත්තාහුද, මේ ඒ ආකාරය වෙයි.”
“ගෘහපතිය, ගැඹුරුවූ බුද්ධ වචනයෙහි යම්බදුවූ තොපගේ ප්‍රඥාචක්ෂුස බැස ගනීද ගෘහපතිය එය තොපට ලාභයකි. ගෘහපතිය, ඔබට යහපත් ලැබීමකියි” වදාළේය.