සංයුත්තනිකායො

සළායතන වර්‍ගය

7. චිත්ත සංයුත්තය

6. කාමභූ සූත්‍රය (2)

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක ආයුෂ්මත් කාමභූ ස්ථවිරයන් වහන්සේ අම්බාටක වනයෙහිවූ මච්ඡිකා සණ්ඩනම් වන ලැහැබෙහි වාසය කරති. එකල්හි චිත්ත ගෘහපතිතෙම ආයුෂ්මත් කාමභූ ස්ථවිරයන් යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ කාමභූ ස්ථවිරයන් වැඳ එක් පසෙක හුන්නේය. එක්පසෙක හුන් චිත්ත ගෘහපතිතෙම ආයුෂ්මත් කාමභූ තෙරුන්ගෙන් “ස්වාමීනි, සංස්කාරයෝ කෙතෙක්දැයි” ඇසීය.

“ගෘහපතිය, කාය සංස්කාරය, වචී සංස්කාරය, චිත්ත සංස්කාරයයි සංස්කාර තිදෙනෙකි.”

“ස්වාමීනි, යහපතැයි” චිත්ත ගෘහපතිතෙම ආයුෂ්මත් කාමභූ තෙරුන්ගේ වචනයට සතුටුව අනුමෝදන්ව ආයුෂ්මත් කාමභූ තෙරුන්ගෙන්, “ස්වාමීනි, කාය සංස්කාරය කවරේද, වචී සංස්කාරය කවරේද, චිත්ත සංස්කාරය කවරේදැයි” තවත් ප්‍රශ්නයක් ඇසීය.

“ගෘහපතිය, ආශ්වාස ප්‍රශ්වාසය වනාහි කාය සංස්කාර නම්, විතර්ක විචාරය වචී සංස්කාර නම්, සංඥාවද වේදනාවද චිත්ත සංස්කාර නමියි” කීයේය.

“ස්වාමීනි, යහපතැයි චිත්ත ගෘහපතිතෙම ආයුෂ්මත් කාමභූ තෙරුන්ගේ වචනයට සතුටුව අනුමෝදන්ව, ආයුෂ්මත් කාමභූ තෙරුන්ගෙන්, ස්වාමීනි, ආශ්වාස ප්‍රශ්වාසයෝ කවර හෙයකින් කාය සංස්කාරද, කවර හෙයකින් විතර්ක විචාරයෝ වචී සංස්කාරද, කවර හෙයින් සංඥාවද වේදනාවද වාක් සංස්කාරදැයි’ තවත් ප්‍රශ්නයක් ඇසීය.

“ගෘහපතිය ආශ්වාස ප්‍රශ්වාසයෝ කායිකය මේ ධර්මයෝ කය පිළිබඳය, එසේ හෙයින් ආශ්වාස ප්‍රශ්වාසයෝ කාය සංස්කාර වෙත්. ගෘහපතිය, පළමුකොට කල්පනාකොට විචාරනය කොට පසුව වචන පිටකරයි. එහෙයින් විතර්ක විචාරයෝ වාක් සංස්කාරවෙති. සංඥාවද වේදනාවද චෛතසිකයෝය. මේ ධර්මයෝ සිත පිළිබඳය. එසේ හෙයින් සංඥාවද, වේදනාවද චිත්ත සංඛාර වෙත්.”

“ස්වාමීනි, යහපතැයි චිත්ත ගෘහපතිතෙම ආයුෂ්මත් කාමභූතෙරුන්ගේ වචනයට සතුටුව අනුමෝදන්ව, ආයුෂ්මත් කාමභූ තෙරුන්ගෙන්, ස්වාමීනි, කෙසේ වනාහි සංඥා වෙදයිත නිරෝධ සමාපත්තිය වේදැයි” තවත් ප්‍රශ්නයක් ඇසීය.

“ගෘහපතිය, සංඥාවෙදයිත නිරෝධයට සමවදින භික්ෂුවට මම සංඥාවෙදයිත නිරෝධයට සම වදින්නෙමියි’ කියා හෝ ‘මම සංඥාවෙදයිත නිරෝධයට සමවදිමි’ කියා හෝ ‘මෙ සංඥා වෙදයිත නිරෝධයට සමවැදුනෙමියි’ කියා හෝ මෙසේ අදහස් නොවේ. හුදෙක් ඔහු විසින් යම් ඒ සිතක් ඒ බවට පැමිණෙයිද ඔහු විසින් පළමුකොටම ඒ ආකාරයෙන් පුරුදුකරන ලද්දේ වේයයි කීය.

“චිත්ත ගෘහපතිතෙම, ස්වාමීනි, යහපතැයි ආයුෂ්මත් කාමභූතෙරුන්ගේ වචනයට සතුටුව අනුමෝදන්ව, ආයුෂ්මත් කාමභූ තෙරුන්ගෙන්, සංඥාවෙදයිත නිරෝධයට සමවදින භික්ෂුවට කාය සංස්කාරය හෝ වචී සංස්කාරය හෝ චිත්ත සංස්කාරය හෝ කවර ධර්ම කෙනෙක් පළමුවෙන් නිරුද්ධවෙත් දැයි” තවත් ප්‍රශ්නයක් විචාළේය.

“ගෘහපතිය, සංඥාවෙදයිත නිරෝධයට සමවදින භික්ෂුවට වචී සංස්කාරය පළමුව නිරුද්ධවේ. ඉක්බිති කාය සංස්කාරයද ඉක්බිති චිත්ත සංස්කාරයද නිරුද්ධ වෙයි.

“ස්වාමීනි, යහපතැයි” ආයුෂ්මත් කාමභූතෙරුන්ගේ වචනයට සතුටුව අනුමෝදන්ව, ආයුෂ්මත් කාමභූ තෙරුන්ගෙන්, ගෘහපතිතෙම, ස්වාමීනි, යමෙක් මළේද, කළුරිය කෙළේද යම් මේ භික්ෂුවක් සංඥා වෙදයිත නිරෝධයට සම වැදුනේද මොවුන්ගේ වෙනස කවරේදැයි” තවත් ප්‍රශ්නයක් විචාළේය.

“ගෘහපතිය යමෙක් මළේද, කළුරිය කළේද, ඔහුගේ කාය සංස්කාරය නිරුද්ධවූයේය. සංසිඳුනේය, වචී සංස්කාරය නිරුද්ධවූයේය, සංසිඳුනේය, චිත්ත සංස්කාරය නිරුද්ධවූයේය, සංසිඳුනේය. ප්‍රාණය නිරුද්ධවිය, උෂ්ණය සංසිඳුනේය, ඉන්ද්‍රියයෝ බිඳුනාහ. ගෘහපතිය, යම් මේ භික්ෂුවක් වනාහි සංඥාවෙදයිත නිරෝධයට සමවැදුනේද, ඔහුගේද කාය සංස්කාරය නිරුද්ධ වූයේය, සංසිඳුනේය. වාක් සංස්කාරයද නිරුද්ධවූයේය, සංසිඳුනේය. චිත්ත සංස්කාරයද නිරුද්ධවූයේය, සංසිඳුනේය. ප්‍රාණය නිරුද්ධ නොවීය. උෂ්ණය නොසංසිඳුනේය. ඉන්ද්‍රියයෝ ප්‍රසන්නයහ. ගෘහපතිය, යමෙක් වනාහි මළේද කාලක්‍රියා කළේද, යම් මේ භික්ෂුවක් සංඥා වෙදයිත නිරෝධයට පැමිණියේද මේ ඔවුන්ගේ වෙනසයයි” කීය.

“ස්වාමීනි, යහපතැයි” චිත්ත ගෘහපතිතෙම ආයුෂ්මත් කාමභූතෙරුන්ගේ වනයට සතුටුව අනුමෝදන්ව, ආයුෂ්මත් කාමභූ තෙරුන්ගෙන්, ස්වාමීනි. කෙසේ වනාහි සංඥාවෙදයිත නිරෝධ සමාපත්තියෙන් නැගිටීම වේදැයි තවත් ප්‍රශ්නයක් විචාළේය.

“ගෘහපතිය, සංඥාවෙදයිත නිරොධ සමාපත්තියෙන් නැගිටින භික්ෂුවට ‘මම සංඥා වෙදයිත නිරෝධ සමාපත්තියෙන් නැගිටින්නෙමියි’ කියා හෝ ‘මම සංඥා වෙදයිත නිරෝධ සමාපත්තියෙන් නැගිටිමියි’ කියා හෝ ‘මම සංඥා වෙදයිත නිරොධ සමාපත්තියෙන් නැගිට්ටෙමියි’ කියා හෝ මෙසේ අදහස් නොවේ. හුදෙක් යම්සේ සිත ඒ බවට පැමිණෙයිද ඔහු විසින් පළමුකොටම එසේ පුරුදු කරන ලදැයි කීය.

“ස්වාමීනි, යහපතැයි, චිත්ත ගෘහපතිතෙම ආයුෂ්මත් කාමභූතෙරුන්ගේ වචනයට සතුටුව අනුමෝදන්ව, ආයුෂ්මත් කාමභු තෙරුන්ගෙන්, ස්වාමීනි, සංඥාවෙදයිත නිරෝධ සමාපත්තියෙන් නැගිටින භික්ෂුවට කාය සංස්කාරය හෝ වචීසංස්කාරය හෝ චිත්ත සංස්කාරය හෝ කවර ධර්මකෙනෙක් පළමුව උපදිත් දැයි” තවත් ප්‍රශ්නයක් විචාළේය.

“ගෘහපතිය, සංඥා වෙදයිත නිරෝධ සමාපත්තියෙන් නැගිටින්නාවූ භික්ෂුවට පළමුව චිත්ත සංස්කාරය උපදී. ඊට පසු කාය සංස්කාරය උපදී. ඉක්බිති වාක් සංස්කාරය උපදී යයි” කීයේය.

“ස්වාමීනි, යහපතැයි” චිත්තගෘහපතිතෙම, ආයුෂ්මත් කාමභූතෙරුන්ගේ වචනයට සතුටුව අනුමෝදන්ව ආයුෂ්මත් කාමභූතෙරුන්ගෙන්, ස්වාමීනි, සංඥාවෙදයිත නිරෝධ සමාපත්තියෙන් නැගිටින භික්ෂු කෙතෙක් ස්පර්ශයෝ ස්පර්ශ කෙරෙත්දැයි” තවත් ප්‍රශ්නයක් විචාළේය.

“ගෘහපතිය සංඥා වෙදයිත නිරෝධ සමාපත්තියෙන් නැගිටි භික්ෂුව සුඤ්ඤතඵස්සය, අනිමිත්ත ඵස්සය, අප්පණිහිත ඵස්සය යන තුන් ස්පර්ශයෝ ස්පර්ශ කෙරෙත්යයි” කීයේය.

“ස්වාමීනි. යහපතැයි” චිත්ත ගෘහපතිතෙම ආයුෂ්මත් කාමභූතෙරුන්ගේ වචනයට සතුටුව අනුමෝදන්ව ආයුෂ්මත් කාමභූතෙරුන්ගෙන්, “ස්වාමීනි, සංඥා වෙදයිත නිරෝධ සමාපත්තියෙන් නැගිටි භික්ෂුවගේ සිත කුමකට නැමුණේ වෙයිද, යොමුවූයේ වෙයිද, බරවූයේ වෙයිදැයි” තවත් ප්‍රශ්නයක් විචාළේය.

“ගෘහපතිය, සංඥා වෙදයිත නිරෝධ සමාපත්තියෙන් නැගී සිටි භික්ෂුවගේ සිත නිවනට නැමුණේ වෙයි, නිවනට යොමුවූයේ වෙයි. නිවනට බරවූයේ වෙයි.”

“ස්වාමීනි, යහපතැයි” චිත්ත ගෘහපතිතෙම ආයුෂ්මත් කාමභු ස්ථවිරයන්ගේ වචනයට සතුටුව කැමැතිව ස්වාමීනි සංඥා වෙදයිත නිරෝධ සමාපත්තියට කවර ධර්ම කෙනෙක් බොහෝ උපකාර වෙත්දැයි” ආයුෂ්මත් සාමභූ ස්ථවිරයන්ගෙන් තවත් ප්‍රශ්නයක් විචාළේය.

“ගෘහපතිය, ඔබ ඒකාන්තයෙන් පළමුව ඇසිය යුත්ත පසුව අසන්නෙහිය, නමුත් තොපට මම ප්‍රකාශ කරන්නෙමි ගෘහපතිය, සංඥා වෙදයිත නිරෝධ සමාපත්තියට සමථය හා විදර්ශනාව යන ධර්ම දෙකක් බොහෝ උපකාරයහ.”