සංයුත්තනිකායො
සළායතන වර්‍ගය
7. චිත්ත සංයුත්තය
5. කාමභූ සූත්‍රය. (1)
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි ආයුෂ්මත් කාමභූ ස්ථවිරයන් වහන්සේ මච්ඡිකාසණ්ඩයෙහි අම්බාටක වනයෙහි වාසය කරති. ඉක්බිති චිත්ත ගෘහපති තෙම ආයුෂ්මත් කාමභූස්ථවිරයන් වහන්සේ යම්තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ ආයුෂ්මත් කාමභූ ස්ථවිරයන් වැඳ එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන් චිත්ත ගෘහපති හට ආයුෂ්මත් කාමභූ ස්ථවිරතෙම මෙසේ කීය. “ගෘහපතිය, “පිරිසිදු අංග ඇත්තාවූ සුදුවැස්මක් ඇත්තාවූ එක් අලවංගුවක් නොහොත් වක් දැත්තක් ඇති රථයක් පවත්නේය. සිඳිනලද ශ්‍රොතය ඇති බන්ධන රහිතවූ කෙළවරට ගියාවූ දුක් නැත්තහු බලව.” ගෘහපතිය, සැකෙවින් කියන ලද මේ ගාථාවේ අර්ථය විස්තර වශයෙන් කෙසේ දත යුත්තේ දැයි” කීය.
“ස්වාමීනි, කිමෙක්ද, මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දක්ද?”
“ගෘහපතිය, එසේය.”
“ස්වාමීනි, එසේනම් මෙහි අර්ථය මෙනෙහි කරන තුරු මොහොතක් ඉවසන සේක්වා.”
ඉක්බිති චිත්ත ගෘහපතිතෙම මොහොතක් තුෂ්ණිම්භූතව සිට ආයුෂ්මත් කාමභූ තෙරුන්ට “ස්වාමීනි, පිරිසිදු අඩ්ග යන මෙය සීලයන්ට නමකි. සුදු වැස්ම යන මෙය අර්හත් ඵලයට නමකි. ස්වාමීනි, අලවංගුව නොහොත් දත්ත යන මෙය සිහියට නමකි. ස්වාමීනි, පැවැත්ම යන මෙය ඉදිරියට යාම ආපසු ඒම යන මීට නමකි. ස්වාමීනි, රථය යන මෙය මව්පියන්ගෙන් බත් කොමුපිඬු වලින් වැඩුණු අනිත්‍යවූ, ඉලීම, මැඩීම, බිඳීම, විනාශය ස්වභාවය කොට ඇති සතර මහා භූතයන්ගෙන් උපන් ශරීරයට නමකි. ස්වාමීනි, රාගය දුකකි. ද්වේෂය දුකකි. මොහය දුකකි. ඒ රාග දොෂ මෝහයෝ ක්ෂිණාශ්‍රව භික්ෂුවට ප්‍රහීණ වූවාහුය. සිඳින ලද මුල් ඇත්තාහුය. (මුදුන සිඳිනලද) තල් ගසක් මෙන් කරන ලද්දාහ. අභාවයට පමුණුවන ලද්දාහ. නැවත නූපදින තත්ත්වයට පමුණුවන ලද්දාහ. එසේ හෙයින් ක්ෂීණාශ්‍රව භික්ෂුවට දුක් නැත්තේයයි කියනු ලැබේ. ස්වාමීනි, කෙළවරට ගිය යනු රහතන් වහන්සේට නමකි. ස්වාමීනි ශ්‍රොතය යනු තෘෂ්ණාවට මෙය නමකි. ඒ තෘෂ්ණාව ක්ෂීණාශ්‍රව භික්ෂුව විසින් ප්‍රහීණ කරණ ලද්දීය. සිඳින ලද මුල් ඇත්තීය. කරටිය සිඳිනලද තල් ගසක් මෙන් කරන ලද්දීය. අභාවයට යවන ලද්දීය. මතු නූපදින ස්වභාවයට පමුණුවන ලද්දීය. එසේ හෙයින් ක්ෂීණාශ්‍රව භික්ෂුව සිඳින ලද ශ්‍රොතය ඇත්තේයයි කියනු ලැබේ.
“ස්වාමීනි, රාගය වනාහි බන්ධනයකි. ද්වේෂය බන්ධනයකි. මොහය බන්ධනයකි. ඒ රාග දොෂ මෝහයෝ ක්ෂණාශ්‍රව භික්ෂුව විසින් ප්‍රහීණ කරන ලද්දාහ. සිඳිනලද මුල් ඇත්තාහ. තල් ගසක් මෙන් කරන ලද්දාහ. අභාවයට යවන ලද්දාහ. මතු නූපදින තත්ත්වයට පමුණුවන ලද්දාහ. එනිසා ක්ෂීණාශ්‍රව භික්ෂුවට බන්ධන රහිතයයි කියනු ලැබේ.
“ස්වාමීනි, මෙසේ වනාහි භාග්‍යවතුන්වහන්සේ විසින් ‘පිරිසිදු අඩ්ග ඇත්තාවූ සුදු වැස්මක් ඇත්තාවූ එක් අලවංගුව නොහොත් දැත්තක් ඇත්තාවූ රථයක් පවතියි සිඳින ලද ශ්‍රොතය ඇත්තාවූ බන්ධන රහිතවූ කෙළවරට ගියාවූ දුක් නැති යහු බලව’ යන යමක් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේද, ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ සංක්ෂේපයෙන් වදාරන ලද්දේ මෙහි අර්ථය විස්තර වශයෙන් මෙසේ දනිමියි” කීය. “ගෘහපතිය, මෙබඳු තොපගේ ප්‍රඥාචක්ෂුස ගැඹුරු බුද්ධ වචනයෙහි ගමන් කෙරේද, එය තොපට ලාභයකි. ගෘහපතිය තොප විසින් යහපත් ලැබීමකි”යි කීය.