සංයුත්තනිකායො
මහා වර්ගය
1. මාර්ග සංයුත්තය
6. බලකරණීය වර්ගය
11. ආගන්තුකාගාර සූත්‍රය
“මහණෙනි, යම්සේ ආගන්තුකාගාරයක් (ආගන්තුකයන් නවතින ගෙයක්) වේද? එහි පෙරදිගින්ද පැමිණ වාසය කරත්, පශ්චිම දිසාවෙන්ද පැමිණ වාසය කරත්. උතුරු දිගින් පැමිණ වාසය කරත්. දකුණු දිගින් පැමිණ වාසය කරත්. ක්ෂත්‍රියයෝද පැමිණ වාසය කරත්. බ්‍රාහ්මණයෝද පැමිණ වාසය කරත්. වෛශ්‍යයෝද පැමිණ වාසය කරත්. ශුද්‍රයෝද පැමිණ වාසය කරත්.
“මහණෙනි, එසේම මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන්නේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන්නේ යම් ධර්ම කෙනෙක් විශෙෂ ඥානයෙන් පිරිසිඳ දැනගත යුත්තාහුද ඒ ධර්මයන් විශෙෂ ඥානයෙන් පිරිසිඳ දැනගනී. යම් ධර්මකෙනෙක් විශෙෂඥානයෙන් පහකළ යුත්තාහුද ඒ ධර්මයන් විශෙෂ ඥානයෙන් පහකරයි. යම් ධර්මකෙනෙක් විශෙෂ ඥානයෙන් ප්‍රත්‍යක්ෂ කළ යුත්තාහුද, ඒ ධර්මයන් විශෙෂ ඥානයෙන් ප්‍රත්‍යක්ෂ කරයි. යම් ධර්ම කෙනෙක් විශේෂ ඥානයෙන් වැඩිය යුත්තාහුද, ඒ ධර්මයන් විශෙෂ ඥානයෙන් වඩයි.
“මහණෙනි, කවර ධර්ම කෙනෙක් විශෙෂ ඥානයෙන් පිරිසිඳ දැනගතයුත්තාහුද, පඤ්ඤා උපාදානස්කන්ධයෝයයි කිවයුතුයි. කවර පසෙක්ද? ඒ මෙසේයි. රූපඋපාදානස්කන්ධය වේදනා උපාදානස්කන්ධය, සඤ්ඤා උපාදානස්කන්ධය, සංඛාර උපාදානස්කන්ධය, විඤ්ඤාණ උපාදානස්කන්ධය යන මොහුයි.
“මහණෙනි, මේ ධර්මයෝ වනාහි විශෙෂ ඥානයෙන් පිරිසිඳ දැනගතයුත්තාහුය.
“මහණෙනි, කවර ධර්ම කෙනෙක් විශෙෂ ඥානයෙන් පහකළයුත්තාහුද? මහණෙනි, අවිද්‍යාවද, භව තෘෂ්ණාවද යන මොහුයි. මහණෙනි, මේ ධර්මයෝ විශෙෂ ඥානයෙන් පහකළ යුත්තාහුය.
“මහණෙනි, කවර ධර්මකෙනෙක් විශෙෂ ඥානයෙන් ප්‍රත්‍යක්ෂ කළයුත්තාහුද? මහණෙනි. මාර්ගඵල නිර්වාණ යන මොහුය. මේ ධර්මයෝ විශෙෂ ඥානයෙන් ප්‍රත්‍යක්ෂ කළ යුත්තාහුය.
“මහණෙනි, කවර ධර්ම කෙනෙක් විශෙෂ ඥානයෙන් වැඩියයුත්තාහුද? මහණෙනි, සමථයද, විදර්ශනාවද වෙයි. මහණෙනි, මේ ධර්මයෝ විශෙෂ ඥානයෙන් වැඩිය යුත්තාහ. මහණෙනි, ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන මහණතෙම කෙසේ යම් ධර්ම කෙනෙක් විශෙෂ ඥානයෙන් පිරිසිඳ දැනගතයුත්තාහුද, ඒ ධර්මයන් විශෙෂ ඥානයෙන් පිරිසිඳ දැනගන්නේද, යම් ඒ ධර්මකෙනෙක් විශෙෂ ඥානයෙන් පහකළ යුත්තාහුද ඒ ධර්මයන් විශෙෂ ඥානයෙන් පහකරන්නේද? යම් ඒ ධර්ම කෙනෙක් විශෙෂ ඥානයෙන් ප්‍රතක්ෂ්‍ය කටයුත්තාහුද, ඒ ධර්මයන් විශෙෂ ඥානයෙන් ප්‍රත්‍යක්ෂ කරන්නේද, යම් ධර්ම කෙනෙක් විශෙෂ ඥානයෙන් වැඩියයුත්තාහුද, ඒ ධර්මයන් විශෙෂ ඥානයෙන් වඩන්නේද?
(මේ ඡෙදය මේ වර්ගයේ පළමුවෙනි සූත්‍රයේ 3 වෙනි ඡෙදය මෙනි)
“මෙසේ වනාහි මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන්නේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන්නේ යම් ධර්මකෙනෙක් විශෙෂ ඥානයෙන් පිරිසිඳ දතයුත්තාහුද ඒ ධර්මයන් විශෙෂ ඥානයෙන් පිරිසිඳ දැනගනී. යම් ධර්ම කෙනෙක් විශෙෂ ඥානයෙන් පහකළ යුත්තාහුද? ඒ ධර්මයන් විශෙෂ ඥානයෙන් පහකරයි. යම් ධර්මකෙනෙක් විශෙෂ ඥානයෙන් ප්‍රත්‍යක්ෂ කළයුත්තාහුද, ඒ ධර්මයන් විශෙෂ ඥානයෙන් ප්‍රත්‍යක්ෂ කරයි. යම් ධර්මකෙනෙක් විශෙෂ ඥානයෙන් වැඩිය යුත්තාහුද, ඒ ධර්මයන් විශෙෂ ඥානයෙන් වඩන්නේ යයි” වදාළසේක.