සංයුත්තනිකායො

මහා වර්ගය

1. මාර්ග සංයුත්තය

1. අවිජ්ජා වර්ගය

6. බ්‍රහ්මචරිය පඤ්හ සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන්නාවූ ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය. “ස්වාමීනි, බ්‍රහ්මචරියාව බ්‍රහ්මචරියාවයයි කියනු ලැබේ. ස්වාමීනි, බ්‍රහ්මචරියාව යනු කුමක්ද? බ්‍රහ්මචරියාවගේ කෙළවර කුමක්ද?”

“මහණ මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයම බ්‍රහ්මචරියාවයි. ඒ කවරේද? සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් සතිය, සම්‍යක් සමාධිය යනුයි. මහණ යම් රාගය ක්ෂයවීමක්, ද්වෙෂය ක්ෂයවීමක්, මෝහය ක්ෂයවීමක් වේද මෙය බ්‍රහ්මචරියාවේ කෙළවරයි.”