සංයුත්තනිකායො
මහා වර්ගය
2. බොජ්ඣංග සංයුත්තය
4. නීවරණ වර්ගය
3. පඤ්චෝපක්කිලෙස සූත්‍රය
“මහණෙනි, යම් කෙළෙසීමකින් කිලිටුවූ ස්වර්ණය මෘදුනොවේද, කටයුත්තට යොග්‍ය නොවේද, බැබලීමක් නැත්තේද, බිඳෙන සුලුද, පහසුවෙන් වැඩකළ නොහැකිද එවැනි කිලුටු පසක් ස්වර්ණයට (රන්වලට) ඇත්තේය. ඒ පස කවරේදයත්? මහණෙනි, යකඩ ස්වර්ණයාගේ කිලුටකි. එයින් කිලුටුවූ ස්වර්ණය මෘදුද නොවෙයි, කර්මණ්‍යද නොවෙයි. බැබලීම නැත. බිඳෙන සුලුය, වැඩ කිරීමට පහසු නොවෙයි. මහණෙනි, ලොභය ස්වර්ණයාගේ කිලුටකි. එයින් කිලුටුවූ ස්වර්ණය මෘදුද නොවෙයි, කර්මණ්‍යද නොවෙයි. බැබලීමක්ද නැත. බිඳෙන සුලුය, වැඩට පහසු නොවෙයි. මහණෙනි, සුදු ඊයම් ස්වර්ණයාගේ කිලුටකි. එයින් කිලුටුවූ ස්වර්ණය මෘදු නොවෙයි. බැබලීමක් නැත. බිඳෙන සුලුය, වැඩට පහසු නැත. මහණෙනි, කලු ඊයම් ස්වර්ණයාගේ කිලුටකි. එයින් කිලුටුවූ ස්වර්ණය මෘදුද නොවෙයි. කර්මණ්‍යද නොවෙයි. බැබලීමක්ද නැත බිඳෙන සුලුය. වැඩට පහසු නැත. මහණෙනි රිදී ස්වර්ණයාගේ කිලුටකි. එයින් කිලුටුවූ ස්වර්ණය මෘදුද නොවෙයි, කර්මණ්‍යද නොවෙයි. බැබලීමක්ද නැත. බිඳෙන සුලුය, වැඩට පහසු නොවේ. මහණෙනි, මෙම පස ස්වර්ණයාගේ උපක්ලෙශයෝය. මේ පසින් කිලුටුවූ ස්වර්ණය මෘදුද නොවේද, කර්මණ්‍යද නොවේද, බැබලීමක් නැත්තේද, බිඳෙන සුලුද, වැඩට නොපහසුද, මහණෙනි, එපරිද්දෙන් යම් කෙලෙසුන්ගෙන් කිලුටුවූ සිත මෘදුන් නොවේද, කර්මණ්‍ය නොවේද, පිරිසිදු නොවේද, අරමුණෙහි සුණුවිසුණු වන හෙයින් බිඳෙන සුලුද, ආශ්‍රවයන් නැතිකිරීම පිණිස මනාකොට සිත එකඟ නොවේද එවැනි සිත කිලුටු කරන්නාවූ ධර්මයෝ මේ පසකි. ඒ පස කවරේදයත්?
“මහණෙනි, කාමච්ඡන්දය සිතේ කිලුටකි. එයින් කිලුටුවූ සිත මෘදු නොවෙයි, කර්මණ්‍ය නොවෙයි, පිරිසිදු නොවෙයි, අරමුණෙහි නොරඳන බැවින් බිඳෙයි, ආශ්‍රවයන්ගේ නැති කිරීම පිණිස සිත එකඟ නොවෙයි.
“මහණෙනි, ව්‍යාපාදය සිතේ කිලුටකි. එයින් කිලුටුවූ සිත මෘදු නොවෙයි, කර්මණ්‍ය නොවෙයි, පිරිසිදු නොවෙයි, අරමුණෙහි නොරඳන බැවින් බිඳෙයි, ආශ්‍රවයන්ගේ නැති කිරීම පිණිස සිත එකඟ නොවෙයි.
“මහණෙනි, කයේ හා සිතේ අලස ගතිය (ථිනමිද්ධය) සිතේ කිලුටකි. එයින් කිලුටුවූ සිත මෘදු නොවෙයි, කර්මණ්‍ය නොවෙයි, පිරිසිදු නොවෙයි, අරමුණෙහි නොරඳන බැවින් බිඳෙයි, ආශ්‍රවයන්ගේ නැතිකිරීම පිණිස සිත එකඟ නොවෙයි.
“මහණෙනි, සිතේ නොසන්සුන් ගතිය හා පසුතැවීම් (උද්ධච්චකුක්කුච්චය) සිතේ කිලුටකි. කිලුටුවූ සිත මෘදු නොවෙයි, කර්මණ්‍ය නොවෙයි, පිරිසිදු නොවෙයි, අරමුණෙහි නොරඳන බැවින් බිඳෙයි, ආශ්‍රවයන්ගේ නැතිකිරීම පිණිස සිත එකඟ නොවෙයි.
“මහණෙනි, බුද්ධාදී අට තැන්හි සැකය සිතේ කිලුටකි. එයින් කිලුටුවූ සිත මෘදු නොවෙයි, කර්මණ්‍ය නොවෙයි, පිරිසිදු නොවෙයි, අරමුණෙහි නොරඳන බැවින් බිඳෙයි, ආශ්‍රවයන්ගේ නැතිකිරීම පිණිස සිත එකඟ නොවෙයි.
“මහණෙනි, මේ පස වනාහි චිත්තයාගේ උපක්ලෙශයෝය. ඒ උපක්ලෙශයන්ගෙන් කිලුටුවූ සිත මෘදු නොවෙයි, කර්මණ්‍ය නොවෙයි, පිරිසිදු නොවෙයි, අරමුණෙහි නොරඳන බැවින් බිඳෙන සුලුය, ආශ්‍රවයන්ගේ නැතිකිරීම පිණිස මනා කොට සිත එකඟ නොවේයයි” වදාළසේක.