සංයුත්තනිකායො
මහා වර්ගය
2. බොජ්ඣංග සංයුත්තය
6. සාකච්ඡා (බොජ්ඣංග) වර්ගය
3. භාවනා කාල සූත්‍රය
(1, 2, 3, 4, 5 මේ ඡෙද, මේ වර්ගයේ 2 වෙනි සූත්‍රයේ 1, 2, 3, 4, 5 ඡෙද මෙන් වේ.)
“මහණෙනි, මෙසේ කියන්නාවූ පරිබ්‍රාජකයන්ට මෙසේ කියයුතුය. ඇවැත්නි, යම් වේලාවක සිත හැකුලුණේ වෙයිද, එකල්හි කවර බොධ්‍යංගයන් වැඩීමට කාලය නොවේද? එකල්හි කවර බොධ්‍යංගයන් වැඩීමට කාලය වේද? ඇවැත්නි, යම් කාලයක සිත විසිරගියේ වේද, එකල්හි කවර බොධ්‍යංගයන් වැඩීමට කාලය නොවේද? එකල්හි කවරබොධ්‍යංගයන් වැඩීමට කාලය වේද? මහණෙනි, මෙසේ අසන ලද්දාහු අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ පිළිතුරු නොසපයන්නාහුය. වඩාත් වෙහෙසට පැමිණෙන්නාහ. ඊට හේතු කවරේද? විෂය නොවූවෙක්හි අසන ලද ප්‍රශ්නයක් බැවිනි. මහණෙනි, දෙවියන් සහිතවූ, මරුන් සහිතවූ, බ්‍රහ්මයන් සහිතවූ ලොකයෙහි, මහණ බමුණන් සහිත ප්‍රජාව කෙරෙහි දෙව් මිනිසුන් කෙරෙහි තථාගතයන් හෝ තථාගත ශ්‍රාවකයකු හෝ මේ ශාසනයෙන් ඇසුවකු හෝ හැර යමෙක් මේ ප්‍රශ්න විසඳීමෙන් සිත් ගන්නේද එබඳු කෙනෙකු මම නොදකිමි.
“මහණෙනි. යම් කාලයක සිත හැකුලුණේ වේද, එකල්හි පස්සද්ධි සම්බොජ්ඣංගය වැඩීමට කාලය නොවේ. සමාධි සම්බොජ්ඣංගය වැඩීමට කාලය නොවේ. උපෙක්ෂා සම්බොජ්ඣංගයගේ වැඩීමට කාලය නොවේ. ඊට හේතු කවරේද? මහණෙනි, සිත හැකුළුණේ වෙයි. ඒ හැකුලුණ සිත මේ ධර්මයන්ගෙන් නගාසිටුවීමට දුෂ්කර වෙයි.
“මහණෙනි, යම්සේ වනාහි පුරුෂයෙක් තෙම ස්වල්ප ගින්නක් දල්වනු කැමැත්තේ වේද, හෙතෙම එහි අමු තණකොළද දමන්නේය. අමු ගොමද දමන්නේය. අමු දරද දමන්නේය. තෙත වාතයද දෙන්නේය. පස්ද දමන්නේය. ඒ පුරුෂ තෙම ස්වල්ප ගින්න දල්වන්නට හැකිවන්නේද?” “ස්වාමීනි, එය නොවේමය.”
“මහණෙනි, එපරිද්දෙන් යම් වේලාවක සිත හැකුලුණේද, එකල්හි පස්සද්ධි සම්බොජ්ඣංගය වැඩීමට කාලය නොවෙයි. සමාධි සම්බොජ්ඣංගය වැඩීමට කාලය නොවෙයි. උපෙක්ඛා සම්බොජ්ඣංගය වැඩීමට කාලය නොවෙයි. ඊට හේතුව කවරේද? මහණෙනි, සිත හැකුළුණේ වෙයි. ඒ හැකුළුණු සිත මේ ධර්මයන්ගෙන් නගාසිටුවීමට නොහැකි වෙයි.
“මහණෙනි, යම් කාලයක සිත හැකුලුණේ වේද, එකල්හි ධර්මවිචය සම්බොජ්ඣංගය වැඩීමට කාලය වෙයි. විරිය සම්බොජ්ඣංගය වැඩීමට කාලය වෙයි. පීති සම්බොජ්ඣංගය වැඩීමට කාලය වෙයි. ඊට හේතු කවරේද? මහණෙනි, සිත හැකුළුණේ ඒ හැකුළුණු සිත මේ ධර්මයන්ගෙන් මනාකොට නගාසිටුවන්නේ වෙයි.
“මහණෙනි, යම්සේ වනාහි පුරුෂතෙම ස්වල්ප ගින්නක් දල්වනු කැමැත්තේ වෙයිද, හෙතෙම එහි වියලි තණද දමන්නේය. වියලුණ ගොමද දමන්නේය. වියලුණ දරද දමන්නේය. මුඛ වාතයද දෙන්නේය. පස් නොදමන්නේය. ඒ පුරුෂතෙම ස්වල්ප ගින්න දල්වන්නට හැක්කේද?” “ස්වාමීනි එසේය.”
“මහණෙනි, එපරිද්දෙන් යම් කාලයක සිත හැකුලුණේ වේද එකල්හි ධම්ම විචය සම්බොජ්ඣංගය වැඩීමට කාලය වෙයි. විරිය සම්බොජ්ඣංගය වැඩීමට කාලය වෙයි. පීති සම්බොජ්ඣංගය වැඩීමට කාලය වෙයි. ඊට හෙතු කවරේද? මහණෙනි, සිත හැකුළුණේය. ඒ හැකුළුණු සිත මේ ධර්මයන්ගෙන් මනාකොට නගාසිටුවීමට හැකි වෙයි.
“මහණෙනි, යම් කාලයක සිත විසිරගියේ වේද, එකල්හි ධම්ම විචය සම්බොජ්ඣංගය වැඩීමට කාලය නොවේ. විරිය සම්බොජ්ඣංගය වැඩීමට කාලය නොවේ. පීති සම්බොජ්ඣංගය වැඩීමට කාලය නොවේ. ඊට හේතු කවරේද? මහණෙනි, සිත විසිර ගියේය. ඒ විසිරගිය සිත මේ ධර්මයන්ගෙන් සන්සිඳවීමට දුෂ්කර වෙයි.
“මහණෙනි, යම්සේ වනාහි මහත් ගිනි කඳක් නිවනු කැමැත්තේ වෙයිද හෙතෙම එහි වියලි තණද දමන්නේය. වියලි ගොමද දමන්නේය. වියලි දරද දමන්නේය. මුඛ වාතයද දෙන්නේය. පස් නොදමන්නේය. ඒ පුරුෂතෙම මහත් ගිනිකඳ නිවීමට හැකිවේද? - “ස්වාමීනි එය නොවේමය.”
“මහණෙනි, එපරිද්දෙන්ම යම් කාලයක සිත විසිරගියේ වේද, එකල්හි ධම්මවිචය සම්බොජ්ඣංගයාගේ වැඩීමට කාලය නොවේ. විරිය සම්බොජ්ඣංගය වැඩීමට කාලය නොවේ. පීති සම්බොජ්ඣංගය වැඩීමට කාලය නොවේ. ඊට හේතු කවරේද? මහණෙනි, සිත විසිර ගියේය. ඒ විසිරගිය සිත මේ ධර්මයන්ගෙන් සන්සිඳවීමට දුෂ්කරවෙයි.
“මහණෙනි, යම් කාලයක සිත විසිරගියේ වේද එකල්හි පස්සද්ධි සම්බොජ්ඣංගය වැඩීමට කාලය වෙයි. සමාධි සම්බොජ්ඣංගය වැඩීමට කාලයවෙයි. උපෙක්ඛා සම්බොජ්ඣංගය වැඩීමට කාලය වෙයි. ඊට හේතු කවරේද? මහණෙනි, සිත විසිරගියේය. ඒ විසිර ගිය සිත මේ ධර්මයන්ගෙන් මනාකොට සන්සිඳුනේ වෙයි. මහණෙනි, යම්සේ වනාහි පුරුෂතෙම මහත් ගිනිකඳක් නිවනු කැමැත්තේ වන්නේද, හෙතෙම එහි අමු තණකොළද දමන්නේය. අමු ගොමද දමන්නේය. අමු දරද දමන්නේය. තෙත වාතයද දෙන්නේය. පස්ද විසුරවන්නේය. ඒ පුරුෂතෙම මහත් ගිනි කඳක් නිවන්ට හැක්කේ වේද?” - “එසේය ස්වාමීනි.”
“මහණෙනි, එපරිද්දෙන් වනාහි යම් කාලයක සිත විසිරගියේ වේද, එකල්හි පස්සද්ධි සම්බොජ්ඣංගය වැඩීමට කාලය වෙයි. සමාධි සම්බොජ්ඣංගය වැඩීමට කාලයවෙයි. උපෙක්ඛා සම්බොජ්ඣංගය වැඩීමට කාලය වෙයි. ඊට හේතු කවරේද? මහණෙනි, සිත විසිර ගියේය. ඒ විසිරගිය සිත මේ ධර්මයන්ගෙන් මනාකොට සන්සිඳුනේ වෙයි. මහණෙනි, සිහිය වනාහි සියළුතන්හි කැමතිවිය යුතුයයි මම කියමි.”