සංයුත්තනිකායො

මහා වර්ගය

4. ඉන්ද්‍රිය සංයුත්තය

2. මුදුතර වර්ගය

9. ඉන්ද්‍රිය සම්පන්න සූත්‍රය

[1] මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍ය වතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක.

එකල්හි වනාහි එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පසෙක හුන්නේය එක් පසෙක හුන් ඒ භික්ෂුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය.

[2] “ස්වාමීනි, ඉන්ද්‍රිය සම්පන්න පුද්ගලයාය, ඉන්ද්‍රිය සම්පන්න පුද්ගලයායයි කියනුලැබේ. ස්වාමීනි, කොපමණකින් වනාහි ඉන්ද්‍රිය සම්පන්න පුද්ගලයෙක් වන්නේද?” යනුයි.

[3] “මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම සංසිඳීමට පමුණුවන්නාවූ මනා අවබොධයට පමුණුවන්නාවූ සද්ධින්ද්‍රිය වඩන්නේද සංසිඳීමට පමුණුවන්නාවූ මනා අවබොධයට පමුණුවන්නාවූ විරියින්ද්‍රිය වඩන්නේද සංසිඳීමට පමුණුවන මනා අවබොධයට පමුණුවන සතින්ද්‍රිය වඩන්නේද, සංසිඳීමට පමුණුවන මනා අවබොධයට පමුණුවන සමාධින්ද්‍රිය වඩන්නේද, සංසිඳීමට මනා අවබොධයට පමුණුවන පඤ්ඤින්ද්‍රිය වඩන්නේද, මෙපමණකින් වනාහි මහණතෙම ඉන්ද්‍රිය සම්පන්නයෙක් වේ.”