සංයුත්තනිකායො

මහා වර්ගය

4. ඉන්ද්‍රිය සංයුත්තය

7. බොධිපක්ඛිය වර්ගය

6. සත්තානිසංස සූත්‍රය

[2] “මහණෙනි, මේ ඉන්ද්‍රියයෝ පසෙක් වෙත්. කවර පසෙක්ද? සද්ධින්ද්‍රිය, විරියින්ද්‍රිය, සතින්ද්‍රිය, සමාධින්ද්‍රිය, පඤ්ඤින්ද්‍රිය යනුයි.

[3] “මහණෙනි, මේ පඤ්ච ඉන්ද්‍රියයෝයි මහණෙනි, මේ පඤ්චෙන්ද්‍රියයන් වැඩීමෙන් බහුල කිරීමෙන් ඵල සතක් ආනිසංස සතක් කැමති විය යුතුයි.

[4] “කවර ඵල සතක් ආනිසංස සතක්ද? මේ ආත්මයෙහි කෙලෙසුන් නසා රහත් බව අවබොධ කරයි. ඉදින් මේ ආත්මයෙහිම කෙලෙසුන් නසා රහත් බව අවබොධ නොකෙළේද, ඉක්බිති මරණ කාලයෙහි රහත් බව අවබොධ කරයි. ඉදින් මේ ආත්මයෙහිම කෙලෙසුන් නසා රහත් බව අවබොධ නොකරයිද මරණ කාලයෙහිත් රහත් බව අවබොධ නොකරයිද?

[5] ඉක්බිති පංච ඔරම්භාගිය සංයෝජනයන් නැති කිරීමෙන් අන්තරා පරිනිබ්බායි නම් අනාගාමි වෙයි. උපභච්ච පරිනිබ්බායී නම් අනාගාමි වෙයි. අසංඛාර පරිනිබ්බායී නම් අනාගාමි වෙයි. සසංඛාර පරිනිබ්බායි නම් අනාගාමි වෙමි. උද්ධංසොත අකනිට්ඨාගාමි නම් අනාගාමි වෙයි. මහණෙනි මේ පඤ්චෙන්ද්‍රියයන් වැඩීමෙන් බහුල කිරීමෙන් මේ ඵල සත ආනිසංස සත කැමති විය යුත්තේය.