සංයුත්තනිකායො

මහා වර්ගය

7. ඉද්ධිපාද සංයුත්තය

1. චාපාල වර්ගය

1. අපාරාපාර සූත්‍රය

[1] මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන්වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී වනාහි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි, කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

[2] “මහණෙනි, මේ වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ සතර ඉද්ධිපාදයෝ සසරින් එතෙරට යෑම පිණිස පවතිත්.

[3] “කවර සතරක්ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම ඡන්දය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. වීර්‍ය්‍ය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. සිත අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. විමංසනය (ප්‍රඥාව) අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි.

[4] “මහණෙනි, වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ මේ සතර ඉද්ධිපාදය සසරින් එතෙරට යාම පිණිස පවතිත්.