අඞ්ගුත්තරනිකායො
අඨක නිපාතය
1. පඨම පණ්ණාසකය
2. මහාවර්‍ගය
10. උපොසථ සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදි. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර මිගාර මාතාව විසින් කරවන ලද පූර්‍වාරාමයෙහි ප්‍රාසාදයෙහි වැඩ වාසය කරණ සේක. එසමයෙහි වනාහි භාග්‍යවතුන් වහන්සේ පොහෝ කරණ දිනයක්වූ ඒ දිනයෙහි භික්‍ෂු සඞ්ඝයා විසින් පිරිවරනා ලද්දේ වැඩ හුන්නේ වෙයි.
එකල්හි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ රාත්‍රිය ඉක්ම යන කල්හි, ප්‍රථම යාමය ඉක්ම ගිය කල්හි, හුනස්නෙන් නැගිට, තනිපට සිවුර ඒකාංශ කොට පොරවා භාග්‍යවතුන් වහන්සේ දෙසට නමස්කාර කොට, භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැළකෙළේය. ’’ස්වාමීන් වහන්ස, රාත්‍රිය ඉක්ම යයි. ප්‍රථම යාමය ඉක්ම ගියේය. භික්‍ෂු සඞ්ඝයා බොහෝ වේලා හුන්නේය. ස්වාමිනි, භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන්ට ප්‍රාතිමොක්‍ෂය උදෙසන සේක්වා.’’ එසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්ද වූ සේක.
දෙවනුවද ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ රාත්‍රිය ඉක්ම යන කල්හි, මධ්‍යම යාමය ඉක්ම ගිය කල්හි, හුනස්නෙන් නැගිට, තනිපට සිවුර ඒකාංශ කොට පොරවා භාග්‍යවතුන් වහන්සේ දෙසට නමස්කාර කොට, භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැළකෙළේය. ’’ස්වාමීන් වහන්ස, රාත්‍රිය ඉක්ම යයි. මධ්‍යම යාමය ඉක්ම ගියේය. භික්‍ෂු සඞ්ඝයා බොහෝ වේලා හුන්නේය. ස්වාමිනි, භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන්ට ප්‍රාතිමොක්‍ෂය උදෙසන සේක්වා.’’ දෙවනුවද භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්ද වූ සේක.
තුන්වෙනුවද ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ රාත්‍රිය ඉක්ම යන කල්හි, පශ්චිම යාමය ඉක්ම ගිය කල්හි, අරුණ නැගි කල්හි, (රෑ පහන්දොර) රාත්‍රි තොම සතුටු මුහුණක් ඇති කල්හි, හුනස්නෙන් නැගිට, තනිපට සිවුර ඒකාංශ කොට පොරවා භාග්‍යවතුන් වහන්සේ දෙසට නමස්කාර කොට, භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැළකෙළේය. ’’ස්වාමීන් වහන්ස, රාත්‍රිය ඉක්ම යයි. අළුයම ඉක්ම ගියේය. අරුණ නැගුනේය. (රෑ පහන්දොර) රාත්‍රි තොම සතුටු මුහුණින් ඇතිවූවාය. භික්‍ෂු සඞ්ඝයා බොහෝ වේලා හුන්නේය. ස්වාමිනි, භාග්‍යවතුන් වහන්ස, භික්‍ෂූන්ට ප්‍රාතිමොක්‍ෂය උදෙසන සේක්වා.’’
’’ආනන්‍දය, පිරිස අපිරිසිදුය.’’ එකල්හි ආයුෂ්මත් මහා මොග්ගල්ලාන තෙරුන් වහන්සේට මෙසේ අදහස් වූයේය. ’’භාග්‍යවතුන් වහන්සේ, ’ ආනන්‍දය, පිරිස අපිරිසිදුය ’ යි කවර පුද්ගලයෙකු සඳහා මෙසේ වදාළ සේක්ද?’’ ඉක්බිති ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේ ඒ සියලුම භික්‍ෂු සඞ්ඝයා සිතින් සිත පිරිසිඳ මෙනෙහි කළ සේක.
ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේ ඒ දුශ්ශීලවූ, ලාමක ස්වභාවය ඇත්තාවූ, අපවිත්‍ර කසල ගොඩක් වැනිවු පැවතුම් ඇති, සැඟවූ පාප කර්‍ම ඇති, අශ්‍රමණවූ, ශ්‍රමණයෙකු ලෙස හඟවන්නාවූ, ශ්‍රෙෂ්ඨ හැසිරීම් නැත්තාවූ, ශ්‍රෙෂ්ඨ හැසිරීම් ඇත්තෙකු ලෙස හඟවන්නාවූ, ඇතුළත (කෙළෙස්වලින්) කුණුවූ, කෙලෙස් වැගිරෙන්නාවූ, කෙලෙස් කසල හටගත්තාවු, පුද්ගලයා භික්‍ෂු සඞ්ඝයා මධ්‍යයෙහි හුන් බව දැක්කේය. දැක හුනස්නෙන් නැගිට, ඒ පුද්ගලයා වෙත පැමිණියේය. පැමිණ ඒ පුද්ගලයාට මෙසේ කීවේය. ’’ඇවැත්නි, නැගිටුව. භාග්‍යවතුන් වහන්සේ විසින් දක්නා ලද්දෙහිය. ඔබට භික්‍ෂූන් සමග විසීමක් නැත්තේය.’’ එසේ කි කල්හි ඒ පුද්ගලයා නිශ්ශබ්ද වූයේය.
දෙවනුවද ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේ ඒ පුද්ගලයාට මෙසේ කීවේය. ’’ඇවැත්නි, නැගිටුව. භාග්‍යවතුන් වහන්සේ විසින් දක්නා ලද්දෙහිය. ඔබට භික්‍ෂූන් සමග විසීමක් නැත්තේය.’’ දෙවනුවද ඒ පුද්ගලයා නිශ්ශබ්ද වූයේය. තෙවනුවද ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේ ඒ පුද්ගලයාට මෙසේ කීවේය. ’’ඇවැත්නි, නැගිටුව. භාග්‍යවතුන් වහන්සේ විසින් දක්නා ලද්දෙහිය. ඔබට භික්‍ෂූන් සමග විසීමක් නැත්තේය.’’ තෙවනුවද ඒ පුද්ගලයා නිශ්ශබ්ද වූයේය.
එකල්හි ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේ ඒ පුද්ගලයා අතින් (අල්වා) ගෙන බාහිර දොර කොටුවෙන් පිට කරවා, යතුරු දමා, භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැළකෙළේය. ’’ස්වාමීන් වහන්ස, මම ඒ පුද්ගලයා පිටකරවූයෙමි. පිරිස පිරිසිදුය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ ප්‍රාතිමොක්‍ෂය උදෙසන සේක්වා.’’
’’මොග්ගල්ලාන, ඒ තුච්ඡ (හිස්වූ) පුරුෂයා අතින් අල්වා ගන්නා තුරු නොසලකා සිටීම ආශ්චර්‍ය්‍යයි, අද්භුතයි.’’
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන්ට ආමන්ත්‍රණය කළ සේක. ’’මහණෙනි, දැන් තොපිම පොහොය කරවු. ප්‍රාතිමොක්‍ෂය උදෙසවු. මහණෙනි, දැන් අද පටන් මම පොහොය නොකරන්නෙමි. ප්‍රාතිමොක්‍ෂය නොදෙසන්නෙමි. මහණෙනි, ’තථාගත තෙම අපිරිසිදු පිරිසෙහි පොහොය කරන්නේය. ප්‍රාතිමොක්‍ෂය දෙසන්නේය,’ යන මේ කරුණට ස්ථාන නොවන්නේය. (හේතු නොවන්නේය) අවකාශ නැත.
’’මහණෙනි, මහා සමුද්‍රයෙහි ආශ්චර්‍ය්‍ය අද්භූතවූ මේ ගුණ ධර්ම අට ඇත්තේය.
’’ මහණෙනි, යම් සේ වනාහි මහා සමුද්‍රයෙහි ක්‍රමයෙන් පහත්විමය, ක්‍රමයෙන් ගැඹුරුවීමය, ක්‍රමයෙන් (යටට) නැමීමය, කෙලින්ම (පිහිටි) ප්‍රපාතයක් නොවිමය, පහාරාදය, එපරිද්දෙන්ම වනාහි මේ ධර්ම විනයෙහි (ශාසනයෙහි) ක්‍රමානුකූල ශික්‍ෂා ඇත්තේ වෙයි. ක්‍රමානුකූල ක්‍රියා ඇත්තේ වෙයි. ක්‍රමානුකූල ප්‍රතිපදා (පිළිපැදීම්) ඇත්තේ වෙයි. ශීල විශුද්‍ධිය ආදිය නොමැතිව කෙලින්ම (ලබන්නාවූ) රහත් බවෙක් නැත. මහණෙනි, යම් හෙයකින් මේ ධර්ම විනයෙහි (ශාසනයෙහි) ක්‍රමානුකූල ශික්‍ෂා ඇත්තේ වෙයි. ක්‍රමානුකූල ක්‍රියා ඇත්තේ වෙයි. ක්‍රමානුකූල ප්‍රතිපදා (පිළිපැදීම්) ඇත්තේ වෙයි. ශීල විශුද්‍ධිය ආදිය නොමැතිව කෙලින්ම (ලබන්නාවූ) රහත් බවෙක් නැත. මහණෙනි, මේ ශාසනයෙහි මේ පළමුවන ආශ්චර්‍ය්‍ය අද්භූතවූ ගුණ ධර්‍මයයි. එය දැක දැක භික්‍ෂූහු ශාසනයෙහි සිත් අලවත්.
’’ මහණෙනි, යම්සේ වනාහි මහා සමුද්‍රය තෙම ස්ථිර ස්වභාවයෙන් යුක්තවූයේ වේද, වෙරළ නොයික්මවාද, මහණෙනි, එපරිද්දෙන්ම වනාහි මා විසින් ශ්‍රාවකයන්ට යම් ශික්‍ෂාපදයක් පණවන ලදද, ඒ ශික්‍ෂාපදය මාගේ ශ්‍රාවකයෝ ජීවිතය ගැනවත් නොයික්මවත්.
’’ මහණෙනි, මේ ශාසනයෙහි මේ දෙවන ආශ්චර්‍ය්‍ය අද්භූතවූ ගුණ ධර්‍මයයි. එය දැක දැක භික්‍ෂූහු ශාසනයෙහි සිත් අලවත්.
’’ මහණෙනි, යම්සේ වනාහි මහා සමුද්‍රය මලකුණු සමග නොවසයි. මහා සමුද්‍රයෙහි යම්කිසි මලකුණක් වීනම් වහාම වෙරළට පා කරයි. ගොඩට උස්සා දමයි. පහාරාදය, එපරිද්දෙන්ම වනාහි යම් ඒ පුද්ගලයෙක් තෙම දුශ්ශීල වූයේද, අකුශල ධර්‍මයෙන් යුක්තවූයේ වේද, අපවිත්‍රවූ කසලගොඩක් වැනි පැවතුම් ඇත්තේ වේද. සඟවා කරණ ලද පාපකර්‍ම ඇත්තේ වේද, ශ්‍රමණයෙක් නුවූයේම ශ්‍රමණ භාවය හඟවන්නේ වේද, බඹසර නොවූයේම බඹසර ඇත්තේයයි හඟවන්නේ වේද, ඇතුළත කුණුවූයේ වේද, (පවිටු සිත් ඇත්තේ වේද), වැගිරෙන හෝ පල්වූ කෙළෙස් ඇත්තේ වේද, කෙළෙස් කසල හටගත්තේ වේද. ඔහු සමග සංඝයා නොවසයි. වහාම රැස්ව ඔහු (උක්‍ෂෙපණීය කර්‍මයෙන්) නෙරපයි. යම් හෙයකින් ඔහු සංඝයා මධ්‍යයෙහි හුන්නේ නමුදු, (උක්‍ෂෙපණීය කර්‍මයෙන්) ඔහු සංඝයා කෙරෙන් ඈත්වූයේමය. (විනයකර්‍මවලට නොගන්නා හෙයිනි.) සඞ්ඝයාද ඔහුගෙන් ඈත්වූයේමය.
’’ මහණෙනි, යම්සේ වනාහි යම් ඒ පුද්ගලයෙක් තෙම දුශ්ශීල වූයේද, අකුශල ධර්‍මයෙන් යුක්තවූයේ වේද, අපවිත්‍රවූ කසලගොඩක් වැනි පැවතුම් ඇත්තේ වේද. සඟවා කරණ ලද පාපකර්‍ම ඇත්තේ වේද, ශ්‍රමණයෙක් නුවූයේම මහණකම හඟවන්නේ වේද, බඹසර නුවූයේම බඹසර ඇත්තේයයි හඟවන්නේ වේද, ඇතුළත කුණුවූයේ වේද, (පවිටු සිත් ඇත්තේ වේද), වැගිරෙන හෝ පල්වූ කෙළෙස් ඇත්තේ වේද, කෙළෙස් කසල හටගත්තේ වේද. (එහෙයින්) ඔහු සමග සංඝයා නොවසාද. වහාම රැස්ව ඔහු (උක්‍ෂෙපණීය කර්‍මයෙන්) නෙරපාද. යම් හෙයකින් ඔහු සඟ මැද හුන්නේ සංඝයා කෙරෙන් නමුදු ඈත්වූයේම වේද, සඞ්ඝයාද ඔහුගෙන් ඈත්වූයේම වේද, මහණෙනි, මේ වනාහි මේ ශාසනයෙහි තෙවැනි ආශ්චර්‍ය්‍ය අද්භූතවූ ගුණ ධර්‍මයයි. එය දැක දැක භික්‍ෂූහු ශාසනයෙහි සිත් අලවත්.
’’ මහණෙනි, යම් සේ වනාහි ගංගා, යමුනා, අචිරවතී, සරභූ, මහී යන මේ යම්කිසි මහා ගංගාවෝ වෙත් නම් ඒ ගංගාවෝ මහා සමුද්‍රයට පැමිණ පළමු නම් ගොත් හැර දමත්. මහා සමුද්‍රය යන සංඛ්‍යාවට, (නාමයට) පැමිණෙත්. මහණෙනි, එපරිද්දෙන්ම වනාහි රජ, බමුණු, වෙළඳ, ගොවි යන මේ සිවු කුලයෝ වෙත්ද, ඔවුහු ගිහිගෙන් නික්ම අනගාරිය සංඛ්‍යාතවූ, තථාගතයන් වහන්සේ විසින් දෙශනා කරණ ලද ශාසනයෙහි පැවිදිව පළමු නම් ගොත් හැර දමත්. ශාක්‍ය පුත්‍රවූ ශ්‍රමණයෝය යන සංඛ්‍යාවට පැමිණෙත්. මහණෙනි, යම් සේ වනාහි රජ, බමුණු, වෙළඳ, ගොවි යන මේ සිවු කුලයෝ වෙත්ද, ඔවුහු ගිහිගෙන් නික්ම අනගාරිය සංඛ්‍යාතවූ, තථාගතයන් වහන්සේ විසින් දෙශනා කරණ ලද ශාසනයෙහි පැවිදිව පළමු නම් ගොත් හැර දමත්. ශාක්‍ය පුත්‍රවූ ශ්‍රමණයෝය යන සංඛ්‍යාවට පැමිණෙත්. මහණෙනි, මේ වනාහි මේ ශාසනයෙහි සිව්වැනි ආශ්චර්‍ය්‍ය අද්භූතවූ ගුණ ධර්‍මයයි. එය දැක දැක භික්‍ෂූහු ශාසනයෙහි සිත් අලවත්.
’’ මහණෙනි, යම්සේ වනාහි ලෝකයෙහි යම් (පමණ) ගංගාවෝ මහා සමුද්‍රයට වදිත්ද, යම් (පමණ) අහස් (වර්‍ෂා) ධාරාවෝ වැටෙත්ද, මහා සමුද්‍රයට එයින් අඩු බවක් හෝ පිරෙන බවක් හෝ නොපෙනෙයි. මහණෙනි, එපරිද්දෙන්ම වනාහි බොහෝවූද භික්‍ෂූහු අනුපාදිශෙෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පාත්. (නිවණට පැමිණෙත්.) එයින් නිර්වාණ ධාතුවෙහි අඩු බවක් හෝ පිරෙන බවක් නොපෙනේ.
’’ මහණෙනි, යම්සේ වනාහි බොහෝවූද භික්‍ෂූහු අනුපාදිශෙෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පාත්ද. (නිවණට පැමිණෙත්ද.) එයින් නිර්වාණ ධාතුවෙහි අඩු බවක් හෝ පිරෙන බවක් නොපෙනේද. මහණෙනි, මේ වනාහි මේ ශාසනයෙහි පස්වැනි ආශ්චර්‍ය්‍ය අද්භූතවූ ගුණ ධර්‍මයයි. එය දැක දැක භික්‍ෂූහු ශාසනයෙහි සිත් අලවත්.
’’ මහණෙනි, යම් සේ වනාහි මහා සමුද්‍රය තෙම ලුණු රසය (නම්වූ) එකම රස ඇත්තේය. මහණෙනි, එපරිද්දෙන්ම වනාහි මේ ශාසනයද විමුක්ති රසය (නම්වූ) එකම රස ඇත්තේය. මහණෙනි, යම්සේ වනාහි මේ ශාසනය විමුක්ති රසය (නම්වූ) එකම රස ඇත්තේද, මහණෙනි, මේ වනාහි මේ ශාසනයෙහි සවැනි ආශ්චර්‍ය්‍ය අද්භූතවූ ගුණ ධර්‍මයයි. එය දැක දැක භික්‍ෂූහු ශාසනයෙහි සිත් අලවත්.
’’ මහණෙනි, යම් සේ වනාහි මහා සමුද්‍රය තෙම බොහෝ රත්න ඇත්තේ වෙයි. අනේක (ප්‍රකාර) රත්න ඇත්තේ වෙයි. එහි මේ රත්නයෝයි. ඒ කවරහුද? මුතුය, මැනික්ය, වෙරළුමිණිය, (වෛරෝඩිය) හක් බෙල්ලෝය, නොයෙක් වර්ණවත් ගල් ජාතීහුය, පබලුය, රිදීය, රත්රන්ය, රතුමැනික්ය, මැසිරි ගල්ය, යන අනේක ප්‍රකාරවූ බොහෝ රත්න ඇත්තේ වේද, මහණෙනි, එපරිද්දෙන්ම වනාහි මේ ශාසනයද බොහෝ රත්න ඇත්තේ වෙයි. අනේක ප්‍රකාරවූ රත්න ඇත්තේ වෙයි. ඒ මේ රත්නයෝ කවරහුද? සතර සතිපට්ඨානය, සතර සම්‍යක් ප්‍රධානය, සතර ඎද්‍ධිපාදය, පඤ්චෙන්‍ද්‍රියය, පඤ්චබලය, සප්තබෝද්‍ධ්‍යඞ්ගය, ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගික මාර්‍ගය (යනුයි.) මහණෙනි, යම්සේ වනාහි මේ ශාසනයද බොහෝ රත්න ඇත්තේ වෙයි. අනේක ප්‍රකාරවූ රත්න ඇත්තේ වෙයි. ඒ මේ රත්නයෝ කවරහුද? සතර සතිපට්ඨානය, සතර සම්‍යක් ප්‍රධානය, සතර ඎද්‍ධිපාදය, පඤ්චෙන්‍ද්‍රියය, පඤ්චබලය, සප්තබෝද්‍ධ්‍යඞ්ගය, ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගික මාර්‍ගය යන මේ රත්නයෝයි. මහණෙනි, මේ වනාහි මේ ශාසනයෙහි සත්වැනි ආශ්චර්‍ය්‍ය අද්භූතවූ ගුණ ධර්‍මයයි. එය දැක දැක භික්‍ෂූහු ශාසනයෙහි සිත් අලවත්.
’’ මහණෙනි, යම් සේ වනාහි මහා සමුද්‍රය තෙම මහත්වු සත්ත්‍වයන්ගේ ආවාසයක් වේද, තිමිය, තිමිඞ්ගලය, තිමිරය, පිඞ්ගලය, අසුරය, නාගය, ගාන්‍ධර්වය, යන මේ එහි වසන මහා සත්න්‍වයෝයි. මහා සමුද්‍රයෙහි සියක් යොදුන් ශරීර ඇත්තාවුද, දෙසියයක් යොදුන් ශරීර ඇත්තාවුද, තුන් සියයක් යොදුන් ශරීර ඇත්තාවුද, හාර සියයක් යොදුන් ශරීර ඇත්තාවුද, පන්සියයක් යොදුන් ශරීර ඇත්තාවුද, සත්ත්‍වයෝ ඇත්තාහ. මහණෙනි, එපරිද්දෙන්ම වනාහි මේ ශාසනයද මහත්වු සත්ත්‍වයන්ගේ ආවාසය වෙයි. ඒ මේ සත්ත්‍වයෝයි. සෝවාන් ඵලයට පැමිණි සත්ත්‍වයාද, සෝවාන් ඵලය ලබා ගැනීම පිණිස පිළිවෙත් පුරන සත්ත්‍වයාද, සකෘදාගාමී ඵලයට පැමිණි සත්ත්‍වයාද, සකෘදාගාමී ඵලය ලබා ගැනීම පිණිස පිළිවෙත් පුරන සත්ත්‍වයාද, අනාගාමී ඵලයට පැමිණි සත්ත්‍වයාද, අනාගාමී ඵලය ලබා ගැනීම පිණිස පිළිවෙත් පුරන සත්ත්‍වයාද, අර්හත් ඵලයට පැමිණි සත්ත්‍වයාද, අර්හත් ඵලය ලබා ගැනීම පිණිස පිළිවෙත් පුරන සත්ත්‍වයාද, යනුයි. මහණෙනි, යම් සේ වනාහි මේ ශාසනයද මහත්වු සත්ත්‍වයන්ගේ ආවාසය වෙයි. ඒ මේ සත්ත්‍වයෝයි. සෝවාන් ඵලයට පැමිණි සත්ත්‍වයාද, සෝවාන් ඵලය ලබා ගැනීම පිණිස පිළිවෙත් පුරන සත්ත්‍වයාද, සකෘදාගාමී ඵලයට පැමිණි සත්ත්‍වයාද, සකෘදාගාමී ඵලය ලබා ගැනීම පිණිස පිළිවෙත් පුරන සත්ත්‍වයාද, අනාගාමී ඵලයට පැමිණි සත්ත්‍වයාද, අනාගාමී ඵලය ලබා ගැනීම පිණිස පිළිවෙත් පුරන සත්ත්‍වයාද, අර්හත් ඵලයට පැමිණි සත්ත්‍වයාද, අර්හත් ඵලය ලබා ගැනීම පිණිස පිළිවෙත් පුරන සත්ත්‍වයාද, යන මේ සත්ත්‍වයෝ වෙත්ද, මහණෙනි, මේ වනාහි මේ ශාසනයෙහි අටවැනි ආශ්චර්‍ය්‍ය අද්භූතවූ ගුණ ධර්‍මයයි. එය දැක දැක භික්‍ෂූහු ශාසනයෙහි සිත් අලවත්.
’’මහණෙනි, මේ වනාහි මේ ශාසනයෙහි ආශ්චර්‍ය්‍ය අද්භූතවූ ගුණ ධර්ම අට වෙත්. එය දැක භික්‍ෂූහු මේ ශාසනයෙහි සිත් අලවත්.’’
මහා වර්‍ගය නිමි.