ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(දුතියො භාගො)

45. වීභීටක වග්ග

10. බොධිඝරිය ථෙරාපදානය

’’විපදොත්තමවූ, තාදී ගුණ ඇති සිද්‍ධාර්ත්‍ථ බුදුරජුන්හට පහන් සිත් ඇත්තේ, සොම්නස්වූයේ බෝධියක් කරවීමි.

’’(ඒ හේතුවෙන්) තුසිතයෙහි උපන්නේ වෙමි. රතන ගෘහයෙහි වසමි. මාගේ සිරුරෙහි ශීතය හෝ, ඌෂ්ණය හෝ, වාතය හෝ නොගෑවේ.

’’මම මින් පන්සැටවන කපෙහි සක්විති රජ වීමි. (මට) විශ්වකර්‍මයා විසින් මවන ලද කාසික නම් නුවරක් විය.

’’(එම නගරය) දස යොදුනක් දිගය. අට යොදුනක් පුළුල්ය. එම නගරයෙහි දර හෝ, වැල් හෝ, මැටි නැත.

’’(එහි) විශ්වකර්‍මයා විසින් මවන ලද මඞ්ගල නම් ප්‍රාසාදයෙක් විය. (එය) යොදුනක් දිගු විය. අට යොදුනක් පුළුලු විය.

’’(එහි) අසූහාරදහසක් ස්වර්‍ණමය ස්ථම්භයෝ වූහ. වාරයෝ මිණිමයහ. සෙවෙනිය (පියස්ස) රජතමය විය.

’’සියල්ල රණින් කළාවූ ගෙයක් විශ්වකර්‍මයා විසින් මවන ලදී. මා විසින් එහි වසන ලදී. ගෘහ දානයාගේ මේ විපාකයයි.

’’දෙව් මිනිස් භවයෙහි ඒ සියලු සම්පත් අනුභවකොට අද නිරුත්තර ශාන්තිපදයවූ නිවනට පැමිණියේ වෙමි.

’’මින් සිව් අනූවන කපෙහි (යම්) බොධි ගෘහයක් කරවූයෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ගෘහ දානයාගේ මේ විපාකයයි.

’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.

’’ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් බොධිඝරිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.

බොධිඝරදායකත්ථෙරස්සාපදානං දසමං.

විභීතකවග්ගො පඤ්චචත්තාලීසමො.