ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(දුතියො භාගො)
53. තිණදායක වග්ග
9. ආමණ්ඩඵලදායක ථෙරාපදානය
’’සියළු දහම්හි තෙරපත්, පස්මරුන් දිනූ, ලෝකාග්‍රවූ පදුමුත්තර බුදුරජතෙමේ සමාධියෙන් නැගිට සක්මන් කළ සේක.
’’එකල්හි (මම) කත් බර ගෙන, ඵල (නෙලා) ගෙන එන්නේ, කෙලෙස් රජස් විරහිතවූ, සක්මන් කරන්නාවූ බුදුරජුන් දුටිමි.
’’(මම) පහන් සිත් ඇත්තේ, සොම්නස්වූයේ, හිසෙහි ඇඳිලි බැඳ, සම්බුදුරජුන් වැඳ, එරඬු ගෙඩියක් දුනිමි.
’’මින් සියක් දහස්වන කපෙහි වු එකල්හි යම් එරඬු ඵල දානයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. එරඬු ගෙඩි පිදීමෙහි මේ විපාකයයි.
’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
’’ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ආමණ්ඩඵලදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
ආමණ්ඩඵලදායකත්ථෙරස්සාපදානං නවමං.