අඞ්ගුත්තරනිකායො

දසම නිපාතය

4. චතුත්‍ථ පණ්ණාසකය

(17) 2. යමක වර්‍ගය

3. සඞ්ගාරව ඔරපාර සූත්‍රය

ඉක්බිති සංගාරව බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවිය. සතුටු වියයුතුවු, සිහි කටයුතුවූ, කථාව කොට නිමවා එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි සංගාරව බ්‍රාහ්මණතෙම භාග්‍යවතුන් වහන්සේට, ’’භවත් ගෞතමයන් වහන්ස, මෙතෙර කවරේද, එතෙර කවරේදැ’’ යි ඇසීය.

’’බ්‍රාහ්මණය, සතුන් මැරීම මෙතෙරයි, සතුන් මැරීමෙන් වෙන්වීම එතෙරයි. මෙතරයි, සතුන් මැරීමෙන් වෙන්වීම එතරයි. නුදුන් දෙය ගැන්ම මෙතරයි, නුදුන් දෙය ගැන්මෙන් වෙන්වීම එතරයි. කාමයන්හි වැරදි හැසිරීම මෙතරයි, කාමයන්හි වැරදි හැසිරීමෙන් වෙන්වීම එතරයි. බොරු කීම මෙතරයි, බොරු කීමෙන් වෙන්වීම එතරයි. කේළාම් කීම මෙතරයි, කේළාම් කීමෙන් වෙන්වීම එතරයි. පරුෂ වචන කීම මෙතරයි, පරුෂ වචන කීමෙන් වෙන්වීම එතරයි. හිස් වචන කීම මෙතරයි, හිස් වචන කීමෙන් වෙන්වීම එතරයි. විෂම ලෝභය මෙතරයි, විෂම ලෝභයෙන් වෙන්වීම එතරයි. ක්‍රොධය මෙතරයි, ක්‍රොධය නොවීම එතරයි. වැරදි දැක්ම මෙතරයි, නිවැරදි දැකීම එතරයි.

’’බ්‍රාහ්මණය, මේ මෙතරයි, මේ එතරයි.

’’මනුෂ්‍යයන් අතුරෙහි යම් ජන කෙනෙක් පරතෙර යන්නාහුද, ඔවුහු ස්වල්පයහ. නැවත මේ සෙසු ප්‍රජාව වෙරළ කරාම දුවයි.

’’යම් කිසි කෙනෙක් මනා කොට ප්‍රකාශ කරණ ලද ධර්මයෙහි ධර්මය අනුව පවත්නාහුද, ඒ මනුෂ්‍යයෝ එතරවීමට බැරි, මාරයාට අයත් පෙදෙසින් එතර වෙත්.

’’පණ්ඩිත තෙමේ කලුවූ පාප ධර්මය හැර සුදුවූ පින් දහම් වඩන්නේය. යම් තැනෙක්හි විවේකයෙහි ඇලීමට අපහසු වේද, වාසස්ථානවූ සසරින් වාසස්ථාන නැති නිවණට පැමිණ

’’කාමයන් කිසිවක් ඉතිරි නොකොට එහි ඇලීම කැමති වන්නේය. නුවණැත්තා සිතෙහි ඇතිවන ක්ලේශයන්ගෙන් තමන් පිරිසිදු වන්නේය.

’’මනා අවබෝධයේ අඞ්ගවන ධර්මයන්හි යමකුගේ සිත මනාකොට වඩන ලද්දේද, යම් කෙනෙක් අල්ලා ගැනීම, දුරු කිරීම යන දෙකෙහි නොබැඳීමෙන් යුක්තවූවාහුද, ලෝකයෙහි බබළන ඒ ක්‍ෂීණාශ්‍රවයෝ ක්ලේශ පරිනිර්‍වාණයෙන් නිවුණාහ.’’