අඞ්ගුත්තරනිකායො

දසම නිපාතය

2. දුතිය පණ්ණාසකය

(9) 4. ථෙර වර්‍ගය

6. අධිමානී සූත්‍රය

එක් කාලයෙක්හි ආයුෂ්මත් මහා කාශ්‍යපයන් වහන්සේ රජගහනුවර ලෙහෙනුන්ට අහර දුන් වෙවවනයෙහි වාසය කරණ සේක. එකල්හි ආයුෂ්මත් මහා කාශ්‍යපයන් වහන්සේ, ’’ඇවැත්නි, මහණෙනි,’’ යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. ඒ භික්‍ෂූහු, ’’ඇවැත්නි’’ යි ආයුෂ්මත් මහා කාශ්‍යපයන් වහන්සේට උත්තර දුන්හ.

’’ ආයුෂ්මත් මහා කාශ්‍යපයන් වහන්සේ, ’’ඇවැත්නි, මේ ශාසනයෙහි මහණතෙම ඉපදීම ක්‍ෂයවිය. ’’කිමෙක්ද, මේ ආයුෂ්මත් තෙමේ උත්පත්තිය ක්‍ෂය විය, බඹසර වැස නිමවන ලදී, කටයුත්ත කරණ ලදී, මින් මතුවට අනිකක් නැතැයි දනිමි’’ යි කුමක් නම් ප්‍රකාශ කෙරේද? අනිකක් ප්‍රකාශ කරයි. මෙසේ සිතින් පතුරුවා සිත දැනගනියි. මේ ආයුෂ්මත් තෙමේ මාර්‍ගඵල නොලබා ලැබුවේයයි සිතන, (අධිමානීක) කෙනෙකි. අධිමානය සත්‍යයකොට සිතන්නෙකි. නොපැමිණි දෙයෙහි පැමිණියේය යන හැඟීම ඇත්තේය. නොකළ දෙයෙහි කළ හැඟීම ඇත්තෙකි. නොලැබූ දෙයෙහි ලද්දේය යන හැඟීම ඇත්තේය. ඉපදීම ක්‍ෂයවිය.

’’මේ ආයුෂ්මත් තෙමේ බහුශ්‍රුතය. ඇසූ දේ දරන්නේය. ඇසූ දේ එක්කරන්නේය. යම් ඒ ධර්‍ම කෙනෙක් මුල, මැද, අග යහපත්ද, අර්ත්‍ථ සහිතද, අකුරු සහිතද, හාත්පසින් පිරිසිදුවූද බ්‍රහ්මචර්‍ය්‍යය ප්‍රකාශ කරත්ද, එබඳු ධර්‍මයෝ බොහෝ අසන ලද්දාහු, දරණ ලද්දාහු, වචනයෙන් පුරුදුවූවාහු, සිතින් යොමුකොට බලන ලද්දාහු, දෘෂ්ටියෙන් තේරුම්ගන්නා ලද්දාහු වෙත්. එහෙයින් මේ ආයුෂ්මත් තෙමේ අධික මානයෙන් යුක්තය. අධිමානයෙන් සත්‍යය දන්නේය කියාගන්නා කෙනෙක. නොපැමිණි දෙයෙහි පැමිණියේය යන සංඥා ඇත්තේය. නොකළ දෙයෙහි කළ සංඥා ඇත්තේය. නොලැබූ දෙයෙහි ලැබුයේය යන සංඥා ඇත්තේය. අධිමානයෙන් ජාතිය ක්‍ෂයවිය. බඹසර වැස නිමවන ලදි. කළයුත්ත කරණ ලදී. මත්තට යමක් නැතැයි දනිමියි රහත්කම ප්‍රකාශ කරයි. ධ්‍යාන ඇති, සමවැදීමෙහි දක්‍ෂ, අනුන් සිත්හි දක්‍ෂය. අනුන් සිතේ පැවැත්මෙහි දක්‍ෂය. තථාගතයන් වහන්සේ හෝ, තථාගත ශ්‍රාවක හෝ ’’මේ ආයුෂ්මත් තෙමේ තෘෂ්ණා බහුලකොට ඇත්තේය.

’’බොහෝ සේ තෘෂ්ණාවෙන් යටකොට ගත් සිතින් වෙසෙයි. තෘෂ්ණාවෙන් යටවීම වනාහි තථාගතයන් වහන්සේ විසින් ප්‍රකාශ කරණ ලද ධර්‍ම විනයෙන් පිරිහීමකි. මේ ආයුෂ්මත් තෙමේ ක්‍රොධ ඇත්තෙකි. ක්‍රොධයෙන් මේ ආයුෂ්මත් තෙමේ සිත, කය දෙකේ ගිලන් භාවයෙන් යුක්තය. සිත කය දෙකේ ගිලන්කමින් වනාහි තථාගතයන් වහන්සේ විසින් ප්‍රකාශ කරණ ලද ධර්‍ම විනයෙන් පිරිහීමකි. මේ ආයුෂ්මත් තෙමේ ඇවිස්සුණු සිතින් යුක්තය. ඇවිස්සුණු සිතින් යුක්තවීම වනාහි තථාගතයන් වහන්සේ විසින් ප්‍රකාශ කරණ ලද ධර්‍ම විනයෙන් පිරිහීමකි. මේ ආයුස්මත් තෙමේ සැකය ඇත්තෙක. සැකය වනාහි තථාතයන් වහන්සේ විසින් ප්‍රකාශ කරණ ලද ධර්‍ම විනයෙන් පිරිහීමකි. මේ ආයුෂ්මත් තෙමේ කර්මාන්තවල ඇලුනෙක. කර්මාන්තවල ඇලීම වනාහි තථාතයන් වහන්සේ විසින් ප්‍රකාශ කරණ ලද ධර්‍ම විනයෙන් පිරිහීමකි. මේ ආයුෂ්මත් තෙමේ වැඩි කථාවෙහි ඇලුනෙක. වැඩි කථවෙහි ඇලීම වනාහි තථාතයන් වහන්සේ විසින් ප්‍රකාශ කරණ ලද ධර්‍ම විනයෙන් පිරිහීමකි. මේ ආයුෂ්මත් තෙමේ නිදීමෙහි ඇලුනෙක. නිදීමෙහි ඇලීම වනාහි තථාතයන් වහන්සේ විසින් ප්‍රකාශ කරණ ලද ධර්‍ම විනයෙන් පිරිහීමකි. මේ ආයුෂ්මත් තෙමේ පිරිස හා ඇලුනෙක. පිරිසෙහි ඇලීම වනාහි තථාතයන් වහන්සේ විසින් ප්‍රකාශ කරණ ලද ධර්‍ම විනයෙන් පිරිහීමකි. මේ ආයුෂ්මත් තෙමේ මතුකළ යුත්තෙහි මුළා සිහි ඇත්තෙක. මතුකළ යුත්තෙහි මුළා සිහිය වනාහි තථාතයන් වහන්සේ විසින් ප්‍රකාශ කරණ ලද ධර්‍ම විනයෙන් පිරිහීමකි. අල්පමාත්‍ර විශෙෂයකට පැමිණීමෙන් අතරෙහි අවසාන කළේය. අතරෙහි අවසන් කිරීම වනාහි තථාගතයන් වහන්සේ විසින් දෙශනා කරණ ලද ධර්ම විනයෙන් පිරිහීමකි.

’’ඇවැත්නි, ඒකාන්තයෙන් ඒ මහණතෙම මේ ධර්‍ම දහය අත් නොහැර මේ ධර්‍ම විනයෙහි අභිවෘද්ධියට, වැඩීමට, විපුලත්‍වයට පැමිණේය යන මේ කාරණය විද්‍යමාන නොවේ. ඇවැත්නි, ඒකාන්තයෙන් ඒ මහණතෙම මේ ධර්‍ම දහය අත්හැර මේ ධර්‍ම විනයෙහි අභිවෘද්ධියට, වැඩීමට, විපුලත්‍වයට පැමිණෙත්ය යන මේ කාරණය විද්‍යමාන වේ.’’