අංගුත්තර නිකාය

එක නිපාතය

12. ආපායික වර්ගය

115. අප්පමෙය්‍ය සූත්‍රය

“මහණෙනි, ලොකයෙහි පුද්ගලයෝ තුන්දෙනෙක් විද්‍යමාන වෙත්. කවර තුන් දෙනෙක්ද යත්?

“පහසුවෙන් මැනිය හැකි පුද්ගලයාද, මැනීමට දුෂ්කර පුද්ගලයාද, නොමැනිය හැකි පුද්ගලයාද වෙත්.

“මහණෙනි, පහසුවෙන් මැනිය හැකි පුද්ගලයා නම් කවරේද? මහණෙනි, මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයෙක් වික්ෂිප්තවූයේ උඩඟුවූයේ චපලවූයේ මුඛරවූයේ අසංවර වචන ඇත්තේ තැන්පත් සිතක් නැත්තේ, කලබලවූ සිත් ඇත්තේ නොවැසූ ඉන්ද්‍රියයන් ඇත්තේ වෙයිද, මහණෙනි, මෙතෙම වනාහි පහසුවෙන් මැනියහැකි පුද්ගලයායයි කියනු ලැබේ.

“මහණෙනි, මැනීමට දුෂ්කර පුද්ගලයා නම් කවරේද? මහණෙනි, මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයෙක් වික්ෂිප්ත නොවූයේ උඩඟු නොවූයේ චපල නොවූයේ මුඛර නොවූයේ සංවර වචන ඇත්තේ, තැන්පත් සිත් ඇත්තේ, කලබල නොවූ සිත් ඇත්තේ, වැසූ ඉන්ද්‍රියයන් ඇත්තේ වෙයිද, මෙතෙම වනාහි මැනීමට දුෂ්කර පුද්ගලයායයි කියනු ලැබේ.

“මහණෙනි, නොමැනියහැකි පුද්ගලයා නම් කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම ආශ්‍රවයන් ක්ෂයකළ අර්හත් පුද්ගලයෙක් වෙයිද මහණෙනි, මෙතෙම මැනිය නොහැකි පුද්ගලයායයි කියනු ලැබේ. මහණෙනි, මේ පුද්ගලයෝ තිදෙන ලොකයෙහි විද්‍යමාන වෙත්.”