අංගුත්තර නිකාය
එක නිපාතය
12. ආපායික වර්ගය
117. සීලවිපත්තිය සූත්‍රය
“මහණෙනි, මේ විපත්ති තුනෙකි. කවර තුනක්ද යත්? සීල විපත්තිය චිත්ත විපත්තිය දිට්ඨි විපත්තිය යන මොහුය. මහණෙනි, සීල විපත්තිය නම් කවරීද?
“මහණෙනි, මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයෙක් සතුන් මරන්නේ වෙයිද, සොරකම් කරන්නේ වෙයිද, කාමයෙහි වරදවා හැසිරෙන්නේ වෙයිද, බොරු කියන්නේ වෙයිද, කේලාම් කියන්නේ වෙයිද, ඵරුසවචන කියන්නේ වෙයිද, ප්‍රලාප කියන්නේ වෙයිද.
“මහණෙනි, මෙය සීල විපත්තියයි කියනු ලැබේ.
“මහණෙනි, චිත්ත විපත්තිය කවරීද?
“මහණෙනි, මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයෙක් අභිද්‍යාව බහුලකොට ඇත්තේ ව්‍යාපාද සිත් ඇත්තේ වෙයිද, මහණෙනි, මෙය චිත්ත විපත්තියයි කියනු ලැබේ.
“මහණෙනි, දිට්ඨි විපත්තිය කවරීද?
“මහණෙනි, මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයෙක් මිථ්‍යාදෘෂ්ටි ඇත්තේ වෙයිද, විපරීත දැකුම් ඇත්තේ වෙයිද, දීමෙහි පලක් නැත, මහාදානයෙහි පලක් නැත, පිදීමෙහි පලක් නැත, කරනලද හොඳ නරක කර්මයන්ගේ පලවිපාක නැත, මෙලොවක් නැත, පරලොවක් නැත, මවුට හොඳ හෝ නරක කිරීමෙහි විපාක නැත. පියාට හොඳ හෝ නරක කිරීමෙහි විපාක නැත, මැරී නැවත උපදින්නාවූ සත්වයෝ නැත ලොකයෙහි යහපත්මග ගියාවූ මනාව පිළිපදින්නාවූ මෙලොවත් පරලොවත් තෙමේ විශෙෂඥානයෙන් ප්‍රත්‍යක්ෂකොට යම් මහණ බමුණු කෙනෙක් ප්‍රකාශ කෙරෙද්ද, එවැනි මහණ බමුණෝ ලොකයෙහි නැත, යන දෘෂ්ටි ඇත්තේ වෙයිද, මහණෙනි, මේ දිට්ඨි විපත්තියයි කියනු ලැබේ.
“මහණෙනි, සීලවිපත්තිය හෙතුකොට ගෙන හෝ සත්වයෝ කය බිඳීමෙන් මරණින් පසු සැපයෙන් පහවූ නපුරුගති ඇති විනාශයට පැමිණෙත්. නිරයෙහි උපදිත්. මහණෙනි, චිත්ත විපත්තිය හේතුකොට ගෙන හෝ සත්වයෝ කය බිඳීමෙන් මරණින් පසු සැපයෙන් පහවූ නපුරු ගති ඇති විනාශයට පැමිණෙත්. නිරයෙහි උපදිත්. මහණෙනි, දිට්ඨි විපත්තිය හේතුකොට ගෙන හෝ සත්වයෝ කය බිඳීමෙන් මරණින් පසු සැපයෙන් පහවූ නපුරු ගති ඇති විනාශයට පැමිණෙත්. නිරයෙහි උපදිත්. මහණෙනි, මේ වනාහි විපත්ති තුන වෙත්.