අංගුත්තර නිකාය
එක නිපාතය
12. ආපායික වර්ගය
118. සීල සම්පත්ති සූත්‍රය
“මහණෙනි, සම්පත් තුනකි. කවර තුනක්ද? සීල සම්පත්තිය චිත්ත සම්පත්තිය දිට්ඨි සම්පත්තිය යන මොහුයි. මහණෙනි, සීල සම්පත්තිය නම් කවරේද?
“මහණෙනි මේ ලොකයෙහි ඇතැමෙක් සතුන් මැරීමෙන් වැළකුණේ වේද, සොරකම් කිරීමෙන් වැළකුණේ වේද, කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකුණේ වේද, බොරුකීමෙන් වැළකුණේ වේද, කේලාම් කීමෙන් වැළකුණේ වේද, ඵරුෂවචන කීමෙන් වැළකුණේ වේද, ප්‍රලාප කීමෙන් වැළකුණේ වේද.
“මහණෙනි, මේ වනාහි සීල සම්පත්තියයි කියනු ලැබේ. මහණෙනි, චිත්තසම්පත්තිය නම් කවරේද? මහණෙනි, මේ ලොකයෙහි ඇතැමෙක් අභිද්‍යාව බහුල කොට නැත්තේ වේද ව්‍යාපාද සිත් නැත්තේ වේද මහණෙනි, මේ චිත්ත සම්පත්තියයි කියනු ලැබේ. මහණෙනි, දිට්ඨි සම්පත්තිය නම් කවරේද?
“මහණෙනි, මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයෙක් දුන් දෙයෙහි විපාක ඇත, මහා දානයෙහි විපාක ඇත, පිදීමෙහි විපාක ඇත, කරණලද හොඳ නරක කර්මයන්ගේ විපාක ඇත, මෙලොවක් ඇත, පරලොවක් ඇත, මවුට හොඳ හෝ නරක කිරීමෙහි විපාක ඇත, පියාට හොඳ හෝ නරක කිරීමෙහි විපාක ඇත මැරී නැවත උපදින්නාවූ සත්වයෝ ඇත. යම් කෙනෙක් මෙලොවද පරලොවද තෙමේ විශෙෂ ඥානයෙන් ප්‍රත්‍යක්ෂකොට ප්‍රකාශ කරද්ද යහපත් මාර්ගයෙහි ගමන්කළාවූ මනාව පිළිපන්නාවූ එවැනි ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ලොකයෙහි ඇතැයි ගත් සම්‍යක්දෘෂ්ටි ඇත්තෝ වෙයිද, විපරීත නොවූ දෘෂ්ටි ඇත්තේ වෙයිද, මහණෙනි, මෙය දිට්ඨි සම්පත්තියයි කියනු ලැබේ.
“මහණෙනි, සීල සම්පත්තිය හෙතුකොට ගෙනද සත්වයෝ කය බිඳීමෙන් මරණින් පසු යහපත් පැමිණීම් ඇත්තාවූ ස්වර්ග ලොකයෙහි උපදිත්. මහණෙනි, චිත්ත සම්පත්තිය හෙතුකොට ගෙනද සත්වයෝ කය බිඳීමෙන් මරණින් පසු යහපත් ගති ඇත්තාවූ ස්වර්ග ලොකයෙහි උපදිත්. මහණෙනි, දිට්ඨි සම්පත්තිය හෙතුකොට ගෙනද සත්වයෝ කය බිඳීමෙන් මරණින් පසු යහපත් ගති ඇත්තාවූ ස්වර්ග ලොකයෙහි උපදිත්