අංගුත්තර නිකාය

එක නිපාතය

13. භාරංඩු (හෝ) කුසිනාරා වර්ගය

129. පඨම අනුරුද්ධ සූත්‍රය

එකල්හි ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරතෙමේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පසෙක හුන්නේය. එක්පසෙක හුන්නාවූ අනුරුද්ධ ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැල කෙළේය.

“ස්වාමීනි, මම මිනිස් බව ඉක්මවූ පිරිසිදු දිවැසින් බොහෝ සෙයින් ස්ත්‍රිය කය බිඳීමෙන් මරණින් පසු සැපයෙන් පහවූ අයහපත් ගති ඇති විනාශව වැටෙන්නාවූ නිරයෙහි උපදින බව දකිමි. ස්වාමීනි, කෙතෙක් ධර්මයන්ගෙන් යුත් ස්ත්‍රිය කය බිඳී මෙන් මරණින් පසු සැපයෙන් පහවූ අයහපත් ගති ඇති විනාශව වැටෙන්නාවූ නිරයෙහි උපදින්නේද?”

“අනුරුද්ධය, ධර්ම තුනකින් යුත් ස්ත්‍රීය කය බිඳීමෙන් මරණින් පසු සැපයෙන් පහවූ අයහපත් ගති ඇති විනාශව වැටෙන්නාවූ නිරයෙහි උපදියි. කවර තුනකින්ද යත්?

“අනුරුද්ධය, මේ ලෝකයෙහි ස්ත්‍රිය උදය වරුවෙහි මසුරු මලයෙන් මඩනා ලද සිතින් ගෙයි වාසය කරත්. දවල් කාලයෙහි ඊෂ්‍ය_ාවෙන් මඩනා ලද සිතින් ගෙයි වාසය කරයි. සවස්කාලයෙහි රාගයෙන් මඩනාලද සිතින් ගෙයි වාසය කරයි.

“අනුරුද්ධය, මේ ධර්ම තුනෙන් යුත් ස්ත්‍රිය කය බිඳීමෙන් මරණින් පසු සැපයෙන් පහවූ අයහපත් ගති ඇති විනාශවූ වැටෙන්නාවූ නිරයෙහි උපදියි.”