අංගුත්තර නිකාය
එක නිපාතය
13. භාරංඩු (හෝ) කුසිනාරා වර්ගය
131. පටිච්ඡන්නවහන සූත්‍රය
“මහණෙනි, වසන ලද්දාවූ තිදෙනෙකුන් දරත්. විවෘතකරන ලදුව නොදරත්. කවර තුනක්ද?
“මහණෙනි, මාගම (ස්ත්‍රිය) වසන ලද්දේම දරයි. විවෘත කෙළේ නොදරයි. මහණෙනි, බ්‍රාහ්මණයන්ගේ මන්ත්‍ර වසන ලද්දාහුම දරත්, විවෘතකොට නොදරත්. මහණෙනි, මිථ්‍යාදෘෂ්ටිය වසනලදුවම දරයි. විවෘතකරන ලදුව නොදරයි. මහණෙනි, මේ කරුණු තුන වසනලදුව දරත්. විවෘතකොට නොදරත්.
“මහණෙනි, තිදෙනෙක් විවෘතකරන ලද්දාහුම බබලත්. වසන ලද්දාහුම නොබබලත්. කවර තිදෙනෙක්ද යත්?
“මහණෙනි, සඳමඬල විවෘතකරන ලද්දේම බබලයි. වසනලද්දේ නොබබලයි. මහණෙනි, හිරුමඬල විවෘතකරන ලද්දේම බබලයි වසනලද්දේ නොබබලයි. මහණෙනි, තථාගතයන් වහන්සේ විසින් වදාළ ධර්මය විවෘතකරන ලද්දේම බබලයි. වසන ලද්දේ නොබබලයි. මහණෙනි, මේ තිදෙන විවෘතකරන ලද්දාහුම බබලත්. වසන ලද්දාහු නොබබලත් යයි” වදාළේය.