අංගුත්තර නිකාය
එක නිපාතය
13. භාරංඩු (හෝ) කුසිනාරා වර්ගය
132. ලෙඛුපම සූත්‍රය
“මහණෙනි, ලොකයෙහි පුද්ගලයෝ තිදෙනෙක් වෙත්. කවර තිදෙනෙක්ද? ගලේ ඇඳි ඉර වැනි පුද්ගල තෙමේද, පොළොවේ ඇඳි ඉර වැනි පුද්ගල තෙමේද, දියේ ඇඳි ඉර වැනි පුද්ගල තෙමේද වෙයි.
“මහණෙනි, ගලේ ඇඳි ඉර වැනි පුද්ගලයා නම් කවරේද? මහණෙනි, මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයෙක් නිතර කිපෙයි. හෙතෙම ඒ ක්‍රොධය බොහෝ කාලයක් පවත්වයි. මහණෙනි, යම්සේ ගලේ ඇඳි ඉර වාතයෙන් හෝ ජලයෙන් හෝ වහා නොමැකෙන්නේද, බොහෝ කල් පවත්නේද, මහණෙනි, එසේම මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයෙක් නිතර කිපෙයිද, හෙතෙම ඒ ක්‍රොධය බොහෝ කල් පවත්වයිද, මහණෙනි, මෙතෙම ගලේ ඇඳි ඉරවැනි පුද්ගලයායයි කියමි.
“මහණෙනි, පොළොවේ ඇඳි ඉර වැනි පුද්ගලයා නම් කවරේද? මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයෙක් නිතර කිපෙයි. හෙතෙම ඒ ක්‍රොධය බොහෝ කලක් නොපවත්වයි. මහණෙනි, යම්සේ පොළොවේ ඇඳි ඉර වාතයෙන් හෝ ජලයෙන් හෝ වහා මැකේද, බොහෝකල් නොපවතියිද, මහණෙනි, එසේම ඇතැම් පුද්ගලයෙක් නිතර කිපෙයිද, හෙතෙම ඒ ක්‍රොධය බොහෝකල් නොපවත්වයිද, මහණෙනි, මෙතෙමේ පොළොවේ ඇඳි ඉර වැනි පුද්ගලයායයි කියනු ලැබේ.
“මහණෙනි, දියේ ඇඳි ඉර වැනි පුද්ගලයා නම් කවරේද? මහණෙනි, මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයෙක් දැඩිකොට කියනු ලබන්නේද, ඵරුෂව කියනු ලබන්නේද, අමනාපයෙන් කියනු ලබන්නේද සම්බන්ධ වන්නේමය, සංසන්දනය වන්නේමය සතුටු වන්නේමය. මහණෙනි, යම්සේ ජලයෙහි ඇඳි ඉර වහා මැකී යන්නේද බොහෝ කල් නොපවත්නේද මහණෙනි, එමෙන්ම මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයෙක් දැඩිව කියනු ලබන්නේද ඵරුෂව කියනු ලබන්නේද අමනාපයෙන් කියනු ලබන්නේද සම්බන්ධ වන්නේමය. සංසන්දනය වන්නේමය. සතුටු වන්නේමය. මහණෙනි, මෙතෙමේ දියේ ඇඳි ඉර වැනි පුද්ගලයායයි කියනු ලැබේ මහණෙනි, ලොකයෙහි මේ පුද්ගලයෝ තිදෙනෙක් ඇත්තාහුය.”
(දහතුන්වැනි භරංඩු වර්ගය නිමි.)