අංගුත්තර නිකාය

එක නිපාතය

3. පුග්ගල වර්ගය

22. ගිලානොපම සූත්‍රය

“මහණෙනි, මේ ගිලනුන් තුන්දෙනෙක් ලෝකයෙහි ඇත්තාහු, විද්‍යමාන වන්නාහු වෙත්. කවර තුන්දෙනෙක්ද යත්, මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් ගිලනෙක් තෙම හිතවූ භෝජන ලබන්නේ හෝ හිතවූ භෝජන නොලබන්නේ හෝ හිතවූ බෙහෙතක් ලබන්නේ හෝ හිතවූ බෙහෙතක් නොලබන්නේ හෝ සුදුසු සාත්තුකාරයකු ලබන්නේ හෝ සුදුසු සාත්තුකාරයකු නොලබන්නේ හෝ ඒ ආබාධයෙන් නොම නැගිටී.

“මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් ගිලනෙක් තෙම හිතවූ භෝජන ලබන්නේ හෝ හිතවූ භෝජන නොලබන්නේ හෝ හිතවූ බෙහෙතක් ලබන්නේ හෝ හිතවූ බෙහෙතක් නොලබන්නේ හෝ සුදුසු සාත්තුකාරයකු ලබන්නේ හෝ සුදුසු සාත්තුකාරයකු නොලබන්නේ හෝ ඒ රෝගයෙන් නැගිටී.

“මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් ගිලනෙක් හිතවූ බොජුන් නොලබා නොව ලැබීමෙන්ම හිතවූ ආහාර නොලබන්නෙක් නොවන්නේම හිතවූ බෙහෙත් නොලබා නොව ලබාම සුදුසු සාත්තුකාරයකු නොමලබාම ඒ රෝගයෙන් නැගිටී.

“මහණෙනි, එහි යම් මේ ගිලනෙක් තෙම හිතවූ භෝජනයන් ලබන්නේම නොලබන්නෙක් නොවන්නේම හිතවූ බෙහෙත් නොලබන්නෙක්ව ලබන්නේව, සුදුසු සාත්තුකාරයකු නොලබා නොමලැබෙන්නේව ඒ රෝගයෙන් නැගිටී.

“මහණෙනි, මේ ගිලනා නිසා ගිලන්බත අනුදන්නා ලදී. ගිලන් බෙහෙත් අනුදන්නා ලදී. ගිලාන උපස්ථායකයෙක් අනුදන්නා ලදී. මහණෙනි, මේ ගිලනා නිසා සෙසු ගිලන්නුද උපස්ථාන කළයුත්තාහ.

“මහණෙනි, මේ ගිලන්නු තුන්දෙන ලෝකයෙහි ඇත්තාහු, විද්‍යමාන වන්නාහු වෙත්.

“මහණෙනි, එපරිද්දෙන්ම වනාහි ගිලනුන් උපමා කොට ඇත්තාවූ මේ පුද්ගලයෝ තුන්දෙනෙක් ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වන්නාහ. කවර තුන්දෙනෙක්ද යත්, මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙක් තෙම තථාගතයන් වහන්සේ දැකීමට ලබන්නේ හෝ තථාගතයන් වහන්සේ දැකීමට නොලබන්නේ හෝ තථාගතයන් විසින් ප්‍රකාශ කරණ ලද ධර්ම විනය ඇසීමට ලබන්නේ හෝ තථාගතයන් විසින් ප්‍රකාශ කරණ ලද ධර්ම විනය ඇසීමට නොලබන්නේ හෝ කුසල ධර්මයන්හි මාර්ග නියාමයයි කියන ලද්දාවූ සම්‍යග් භාවයට නොපැමිණෙයි.

“මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙක් තෙම තථාගතයන් වහන්සේ දැකීමට ලබන්නේ හෝ තථාගතයන් වහන්සේ දැකීමට නොලබන්නේ හෝ තථාගතයන් විසින් ප්‍රකාශ කරණ ලද ධර්ම විනය ඇසීමට ලබන්නේ හෝ තථාගතයන් විසින් ප්‍රකාශ කරණ ලද ධර්ම විනය ඇසීමට නොලබන්නේ හෝ කුසල ධර්මයන්හි මාර්ග නියාමයයි කියන ලද්දාවූ සම්‍යග් භාවයට පැමිණෙයි.

“මහණෙනි, මේ සස්නෙහි වනාහි ඇතැම් පුද්ගලයෙක් තෙම තථාගතයන් දැකීමට ලබන්නේම නොලබන්නේ හෝ තථාගතයන් විසින් ප්‍රකාශ කරණ ලද ධර්මවිනය ඇසීමට ලබන්නේම නොලබන්නේ හෝ කුසල ධර්මයන්හි මාර්ගනියාම යයි කියන ලද්දාවූ සම්‍යග් භාවයට පැමිණෙයි.

“මහණෙනි, මේ සස්නෙහි වනාහි ඇතැම් පුද්ගලයෙක් තෙම තථාගතයන් දැකීමට ලබන්නේම නොලබන්නේ හෝ තථාගතයන් විසින් ප්‍රකාශ කරණ ලද ධර්ම විනය ඇසීමට ලබන්නේම නොලබන්නේ හෝ කුසල ධර්මයන්හි මාර්ගනියාම යයි කියන ලද්දාවූ සම්‍යග් භාවයට පැමිණෙයි. මහණෙනි, මේ පුද්ගලයා නිසා ධර්ම දේශනා තොමෝ අනුදන්නා ලදී. මහණෙනි, මේ පුද්ගලයා නිසා අන්‍යයන්ටද ධර්මය දේශනා කළ යුත්තේය. මහණෙනි, මේ ගිලන්නු තුන්දෙන ලෝකයෙහි ඇත්තාහු, විද්‍යමාන වෙත්යයි” වදාළේය.