අංගුත්තර නිකාය
එක නිපාතය
3. පුග්ගල වර්ගය
21. සමිද්ධ (හෝ) සවිට්ඨ සූත්‍රය
“ඉක්බිත්තෙන් වනාහි ආයුෂ්මත්වූ සවිට්ඨ ස්ථවිර තෙමේද ආයුෂ්මත් මහා කොට්ඨිත ස්ථවිර තෙමේද, ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිර තෙමේ යම් තැනෙක්හිද එතැන්හි පැමිණියාහ. පැමිණ, ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිර තෙම සමග සතුටු වූහ. සතුටු විය යුතු සිහි කටයුතු කථාව කොට නිමවා එක් පැත්තක උන්නේය. ශාරිපුත්ත ස්ථවිර තෙම මෙසේ ඇසීය.
“ඇවැත්නි, සවිට්ඨය, ලෝකයෙහි මේ පුද්ගලයෝ තුන් දෙනෙක් ඇත්තාහු විද්‍යමාන වන්නාහු වෙත්. කවර තුන්දෙනෙක්ද, කාය සක්ඛි පුද්ගලයාය, දිට්ඨිප්පත්ත පුද්ගලයාය, සද්ධාවිමුත්ත පුද්ගලයාය (යන තුන්දෙන වෙත්) ඇවැත්නි, ලෝකයෙහි මේ පුද්ගලයෝ තුන්දෙන ඇත්තාහු, විද්‍යමාන වන්නාහු වෙත්. ඇවැත්නි, මේ පුද්ගලයන් තුන් දෙනා අතුරෙන් කවර පුද්ගලයෙක් ඔබට කැමතිවන්නේද, වඩා කැමතිවන්නේද අතිශයින් ප්‍රණීත වන්නේද?” ‘ඇවැත් සාරිපුත්තය, ලෝකයෙහි මේ පුද්ගලයෝ තුන් දෙනෙක් ඇත්තාහු විද්‍යමාන වන්නාහු වෙත්. කවර තුන් දෙනෙක්ද, කායසක්ඛි පුද්ගලයාය, දිට්ඨිප්පත්ත පුද්ගලයාය, සද්ධාවිමුත්ත පුද්ගලයාය (යන තුන්දෙන වෙත්) ඇවැත්නි, මේ පුද්ගලයන්තුන්දෙනා අතුරෙන් යම් පුද්ගලයෙක්තෙම සද්ධාවිමුත්ත නම් වේද, මේ පුද්ගලතෙම මට කැමැත්තේ වෙයි. වඩා සතුටුවූයේ වෙයි. අතිශයින් ප්‍රණීතවූයේ වෙයි. ‘ඊට හේතු කවරේද? ඇවැත්නි, මේ පුද්ගලයාගේ ශ්‍රද්ධෙන්ද්‍රිය අධික වෙයි. එහෙයිනැයි ප්‍රකාශ කෙළේය.
“ඉක්බිති ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිර තෙම ආයුෂ්මත්වූ මහා කොට්ඨිත ස්ථවිරයන්ට මෙය ප්‍රකාශ කෙළේය. ලෝකයෙහි මේ පුද්ගලයෝ තුන්දෙනෙක් ඇත්තාහු විද්‍යමාන වන්නාහු වෙත්. කවර තුන්දෙනෙක්ද, කාය සක්ඛි පුද්ගලයාය, දිට්ඨිප්පත්ත පුද්ගලයාය, සද්ධාවිමුත්ත පුද්ගලයාය (යන තුන්දෙන වෙත්.
ඇවැත්නි, යම් මේ පුද්ගලයෙක් තෙම කාය සක්ඛි නම් වේද, ඒ පුද්ගල තෙම මට කැමැත්තේ වෙයි, වඩා සතුටුවූයේ වෙයි. ඉතා ප්‍රණීත වෙයි”
“ඊට හේතු කවරේද? ඇවැත්නි, මේ පුද්ගලයාගේ සමාධින්ද්‍රිය අධික වෙයි. (එහෙයිනි) ඉක්බිති ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිර තෙම කොට්ඨිත ස්ථවිරයන්ට මෙය ප්‍රකාශ කෙළේය.
“ලෝකයෙහි මේ පුද්ගලයන් තුන්දෙනෙක් ඇත්තාහු විද්‍යමාන වන්නාහු වෙත්. කවර තුන්දෙනෙක්ද, කාය සක්ඛි පුද්ගලයාය, දිට්ඨිප්පත්ත පුද්ගලයාය, සද්ධාවිමුත්ත පුද්ගලයාය (යන තුන්දෙන වෙත්.)
“යම් මේ පුද්ගලයෙක් තෙම දිට්ඨිප්පත්ත නම් වේද, ඒ පුද්ගලතෙම මට කැමැත්තේ වෙයි. වඩා සතුටු වූයේ වෙයි. ඉතා ප්‍රණීත වෙයි. ඊට හේතු කවරේද? ඇවැත්නි, මේ පුද්ගලයාගේ ප්‍රඥෙන්ද්‍රිය අධික වෙයි. (එහෙයිනි)
“යලිදු ආයුෂ්මත්වූ ශාරිපුත්‍ර ස්ථවිර තෙම ආයුෂ්මත් සවිට්ඨ ස්ථවිරයන්ටද, ආයුෂ්මත් මහා කොට්ඨිත ස්ථවිරයන්ටද, මෙසේ ප්‍රකාශ කෙළේය. ඇවැත්නි, අප හැම දෙනා විසින්ම ස්වකීය වැටහීම යම්සේ නම් එසේ ප්‍රකාශ කරණ ලද්දේමය, ඇවැත්නි යමු භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණෙන්නෙමු. පැමිණ භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කියන්නෙමු. භාග්‍යවතුන් වහන්සේ අපට යම්සේ ප්‍රකාශ කරණ සේක්ද, එසේ දරන්නෙමුයි’ කියායි.
“ඇවැත්නි එසේ යයි’ කියා ආයුෂ්මත් සවිට්ඨ ස්ථවිර තෙමේද ආයුෂ්මත් මහා කොට්ඨිත ස්ථවිර තෙමේද ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේහට පිළිතුරු දුන්හ.
“ඉක්බිති ශාරිපුත්‍ර ස්ථවිර තෙමේද ආයුෂ්මත් සවිට්ඨ ස්ථවිර තෙමේද ආයුෂ්මත් මහා කොට්ඨිත ස්ථවිර තෙමේද භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියෝය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක්පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිර තෙම ආයුෂ්මත් සවිට්ඨ ස්ථවිරයන් සමගද ආයුෂ්මත් මහා කොට්ඨිත ස්ථවිරයන් සමගද කථාසල්ලාපය යම් පමණවීද, ඒ සියල්ල භාග්‍යවතුන් වහන්සේට සැළකෙළේය.
“ශාරිපුත්‍රය, මේතෙම මේ පුද්ගලයින් තුන්දෙනා අතුරෙන් අතිශයින් යහපත්ය කියාද, අතිශයින් ප්‍රණීතයයි කියාද මෙහි එකාන්තයෙන් ප්‍රකාශ කිරීම පහසු නොවේමය. ශාරිපුත්‍රය, මේ කාරණය වනාහි විද්‍යමානවේ කුමක්ද? යම් මේ පුද්ගලයෙක් තෙම ශ්‍රද්ධා විමුක්තවේද, හෙතෙම රහත් හෝ වන්නේය. රහත් බැව් පිණිස පිළිපන්නේ හෝ වන්නේය. යම් මේ පුද්ගලයෙක් තෙම කාය සක්ඛි නම් වේද හෙතෙම සකෘදාගාමි හෝ වන්නේය. අනාගාමි හෝ වන්නේය. යම් මේ පුද්ගලයෙක් දිට්ඨිප්පත්ත නම් වේද හෙතෙමේ සකෘදාගාමි හෝ වන්නේය. අනාගාමි හෝ වන්නේය. (යන මෙයයි.)
“ශාරිපුත්‍රය මේතෙමේ මේ පුද්ගලයන් අතුරෙන් අතිශයින් යහපත්යයි කියාද අතිශයින් ප්‍රණීතයයි කියාද ඒකාන්තයෙන් ප්‍රකාශ කරන්නට පහසු නොවේ.
“ශාරිපුත්‍රය, යම් මේ පුද්ගලයෙක් කාය සක්ඛි වේද හෙතෙම රහතන් වහන්සේ නමක් හෝ රහත් මගට පිළිපන්නේ හෝ වේ. යම් මේ පුද්ගලයෙක් ශ්‍රද්ධා විමුක්තද හෙතෙම සකෘදාගාමි හෝ අනාගාමි හෝ වන්නේය. යම් මේ පුද්ගලයෙක් දිට්ඨිප්පත්තද හෙතෙමේද සකෘදාගාමි හෝ අනාගාමි හෝ වන්නේය. ශාරිපුත්‍රය මෙහි මේ පුද්ගලයන් තුන්දෙනා අතුරෙන් මේතෙමේ අතිශයින් යහපත්යයි කියාද අතිශයින් ප්‍රණීතයයි කියාද ඒකාන්තයෙන් ප්‍රකාශ කිරීමට අපහසුය යන මෙය වනාහි විද්‍යමාන වේ
“ශාරිපුත්‍රය යම් මේ පුද්ගලයෙක් දිට්ඨිප්පත්තද හෙතෙමේ රහත් හෝ රහත් මාර්ගයට පිළිපන්නේ හෝ වන්නේය. යම් මේ පුද්ගලයෙක් ශ්‍රද්ධා විමුක්තද හෙතෙම සකෘදාගාමි හෝ අනාගාමි හෝ වන්නේය. යම් මේ පුද්ගලයෙක් කාය සක්ඛිද හෙතෙමේද සකෘදාගාමි හෝ අනාගාමි හෝ වන්නේය. ශාරිපුත්‍රය මේතෙමේ මේ තුන් පුද්ගලයන්ගෙන් අතිශයින් යහපත්යයි කියාද ප්‍රණීතයයි කියාද ඒකාන්තයෙන් ප්‍රකාශ කිරීමට පහසු නොවේය යන මේ කාරණය විද්‍යමානවේ”