අංගුත්තර නිකාය

එක නිපාතය

9. සමණ වර්ගය

81. සමණ කරණීය සූත්‍රය

“මහණෙනි, ශ්‍රමණයාට අයත්වූ ශ්‍රමණයා විසින් කළ යුතුවූ වැඩ තුනකි. අධිශීල ශික්ෂා සමාදානය, අධිචිත්ත ශික්ෂා සමාදානය, අධිප්‍රඥා ශික්ෂා සමාදානය යන මොහුයි. මහණෙනි, මේ වනාහි ශ්‍රමණයාට අයත් ශ්‍රමණයා විසින් කළයුතුවූ වැඩ තුන වෙත්.

“මහණෙනි, එහෙයින් ‘අධිශීල ශික්ෂා සමාදානයෙහි අපගේ දැඩි කැමැත්ත වන්නේය. අධිචිත්ත ශික්ෂා සමාදානයෙහි අපගේ බලවත් කැමැත්ත වන්නේය. අධිප්‍රඥා ශික්ෂා සමාදානයෙහි අපගේ බලවත් කැමැත්ත වන්නේයයි’ මෙසේ හික්මිය යුතුය. මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතුය.