අඞ්ගුත්තරනිකායො
චතුක්ක නිපාතය
4. හතරවෙනි පණ්ණාසකය
(17) 2. පටිපදා වර්‍ගය
7. මොග්ගල්ලාන සූත්‍රය
’’ඉක්බිති ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ, මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණිසේක. පැමිණ ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේ සමග සතුටුවියයුතු, සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පසෙක හුන් සේක.
’’එකත් පසෙක හුන් ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ, ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේට, ’’ඇවැත් මොග්ගල්ලානය,
’’මේ ප්‍රතිපදා සතරකි. කවර සතරක්ද යත්. දුක්වු ප්‍රතිපදාය, ප්‍රමාදවූ අභිඥාය. දුක්වු ප්‍රතිපදාය, වහා ලැබෙන අභිඥාය. සැපවුූ ප්‍රතිපදාය, ප්‍රමාදවූ අභිඥාය. සැපවූ ප්‍රතිපදාය, වහා ලැබෙන අභිඥාය, ඇවැත්නි, මේ සතර ප්‍රතිපදාවෝයි.
’’ඇවැත්නි, මේ සතර ප්‍රතිපදාවන්ගෙන් තොප කවර ප්‍රතිපදාවකට පැමිණ, තෘෂ්ණා, මාන, දෘෂ්ටි වශයෙන් නොගෙන සිත කෙලෙසුන්ගෙන් මිදුනේද?
’’ඇවැත් ශාරීපුත්‍රය, මේ ප්‍රතිපදා සතරකි. කවර සතරක්ද යත්. දුක්වු ප්‍රතිපදාය, ප්‍රමාදවූ අභිඥාය. දුක්වු ප්‍රතිපදාය, වහා ලැබෙන අභිඥාය. සැප වූ ප්‍රතිපදාය, ප්‍රමාදවූ අභිඥාය. සැපවූ ප්‍රතිපදාය, වහා ලැබෙන අභිඥාය, ඇවැත්නි, මේ සතර ප්‍රතිපදාවෝයි.
’’ඇවැත්නි, මේ සතර ප්‍රතිපදාවන්ගෙන් යම් මේ ප්‍රතිපදාවක් දුක්ද, වහා ලැබෙන අභිඥා ඇත්තේද, මා විසින් මේ ප්‍රතිපදාවට පැමිණ, තෘෂ්ණාදී වශයෙන් නොගෙන, ආශ්‍රවයන්ගෙන් සිත මුදන ලදී.’’