අඞ්ගුත්තරනිකායො

චතුක්ක නිපාතය

1. පළමුවෙනි පණ්ණාසකය

2. චර වර්‍ගය

10. භත්තුද්දේසක සූත්‍රය

’’මහණෙනි, මේ ධර්‍ම සතරකින් යුක්තවූ භත්තුද්දේසක තෙම ප්‍රත්‍ය බෙදන්නා ගෙන එන ලද්දක් හෙලන්නේ යම්සේද, එසේ නරකයේ උපදී. කවර සතරකින්ද යත්?

’’ඡන්‍දයෙන් අගතියට යයිද, ද්වේෂයෙන් අගතියට යයිද, මොහයෙන් අගතියට යයිද, භයෙන් අගතියට යයිද, මහණෙනි, මේ ධර්‍ම සතරින් යුක්තවූ භත්තුද්දේසක තෙම ගෙන එන ලද්දක් හෙලන්නේ යම් සේද, එසේ නරකයෙහි උපදී.

’’මහණෙනි, ධර්‍ම සතරකින් යුක්තවූ භත්තුද්දේසක තෙම ගෙන එන ලද්දක් හෙලන්නේ යම්සේද, එසේ ස්වර්‍ගයෙහි උපදී. කවර කරුණු සතරකින්ද යත්. ඡන්‍දයෙන් අගතියට නොයයි, ද්වේෂයෙන් අගතියට නොයයි, මොහයෙන් අගතියට නොයයි, භයෙන් අගතියට නොයයි, මහණෙනි, මේ ධර්‍ම සතරින් යුක්තවූ භත්තුද්දේසක තෙම ගෙන එන ලද්දක් හෙලන්නේ යම් සේද, එසේ සුගතියෙහි උපදී.

’’වස්තුකාම, ක්ලේශකාමයන්හි සංයම නොවූ යම්කිසි ජන කෙනෙක් අධාර්මික වෙත්ද, අධර්‍මය ගරු කරන්නාහුද, ඡන්‍දයෙන්ද, ද්වෙෂයෙන්ද, භයෙන්ද, මොහයෙන්ද, අගතියට යනසුථ වෙත්ද, මෙතෙමේ පිරිස් කසටයයි කියනු ලැබේ.’’ ’’දන්නාසුථ ශ්‍රමණයන් වහන්සේ (බුදුන්) විසින් මෙසේ වදාරණ ලදී. එසේ හෙයින් පැසසුම් ලැබිය යුතුවූ, ඒ යම් සත් පුරුෂයෝ ධර්‍මයෙහි සිටියාහු පව් නොකරත්ද, ඡන්‍දයෙන්, ද්වේෂයෙන්, භයින්, මෝහයෙන් අගතියට නොයන්නාහුද, මේ තෙමේ පිරිස් බබලවන්නායයි කියනු ලැබේ. දන්නාවූ ශ්‍රමණයන් වහන්සේ විසින් මෙසේ වදාරණ ලදී.’’

චර වර්‍ගය නිමි.