අඞ්ගුත්තරනිකායො

චතුක්ක නිපාතය

1. පළමුවෙනි පණ්ණාසකය

3. උරුවෙල වර්‍ගය

1. සද්‍ධම්ම ගරුක සූත්‍රය

එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවනයෙහි අනේපිඬු සිටුහුගේ අරමෙහි වාසය කරණ සේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ, ’’මහණෙනි’’ යි කියා භික්‍ෂූන් ආමන්ත්‍රණය කළ සේක. ’’පින්වතුන් වහන්ස’’, කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

’’මහණෙනි, මම බුදුවූ මුලදීම එක් කාලයක උරුවෙල රටෙහි, නෙරඤ්ජරා නදී තීරයෙහි, අජපාල නුග රුක මුල වාසය කරමි. මහණෙනි, රහසිගතව විවේකව හුන්නාවූ ඒ මට මේ කල්පනාවක් පහළ විය. ගුරුවරයෙකු නැතිව, වැඩි මහල්ලෙකු නැතිව, වාසය කරයිද, එය දුකකි. මම කවර නම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ සත්කාරකොට, ගරුකාරකොට, ආශ්‍රයකොට වාසය කරම්ද?

’’මහණෙනි, ඒ මට, මම සම්පූර්‍ණ නොවූ සීලක්ඛන්‍ධයාගේ සම්පූර්‍ණ කිරීම පිණිස, අනෙක් ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ සත්කාරකොට, ගරුකාරකොට, ඇසුරු කොට වාසය කරන්නෙම් නම් මා විසින් සත්කාරකොට, ගරුකාරකොට, ආශ්‍රයකොට වාසය කළයුතුවූ, මට වඩා ශීලයෙන් වැඩිවූ, අනික් ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ නුවණැසින් නොදකිමි.

’’මම සම්පූර්‍ණ නොවූ සමාධික්ඛන්‍ධයාගේ සම්පූර්‍ණ කිරීම පිණිස, අනෙක් ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ සත්කාරකොට, ගරුකාරකොට, ඇසුරු කොට වාසය කරන්නෙම් නම් මා විසින් සත්කාරකොට, ගරුකාරකොට, ආශ්‍රයකොට වාසය කළයුතුවූ, මට වඩා ශීලයෙන් වැඩිවූ, අනික් ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ නුවණැසින් නොදකිමි. සම්පූර්‍ණ නොවූ ප්‍රඥාස්ඛන්‍ධයාගේ සම්පූර්‍ණ කිරීම පිණිස, අනෙක් ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ සත්කාරකොට, ගරුකාරකොට, ඇසුරු කොට වාසය කරන්නෙම් නම් මා විසින් සත්කාරකොට, ගරුකාරකොට, වාසය කළයුතුවූ, තමාට වඩා වැඩි ප්‍රඥාවෙන් යුත්, අනික් ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු මරුන් සහිත, බඹුන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත, දෙවි මිනිසුන් සහිත ලෝකයෙහි, දෙවි මිනිසුන් සහිත ප්‍රජාවෙහි නුවණැසින් නොදකිමි.

’’මම සම්පූර්‍ණ නොවූ විමුක්ති ස්ඛන්‍ධයාගේ සම්පූර්‍ණ කිරීම පිණිස, අනික් ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ සත්කාරකොට, ගරුකාරකොට, ඇසුරු කොට වාසය කරන්නෙම් නම් මා විසින් යමෙකුට සත්කාරකොට, ගරුකාරකොට, වාසය කළයුතුවූ, තමාට වඩා වැඩි විමුක්තියෙන් යුක්තවූ අනික් ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ මරුන් සහිත, බඹුන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත, දෙවි මිනිසුන් සහිත ලෝකයෙහි, දෙවි මිනිසුන් සහිත ප්‍රජාවෙහි නුවණැසින් නොදකිමි.

’’මහණෙනි, ඒ මට යම් මේ ධර්‍මයක් මා විසින් අවබෝධ කරණ ලදද, ඒ ධර්‍මය මම සත්කාරකොට, ගරුකාරකොට, ආශ්‍රයකොට වාසය කරන්නෙම් නම් යෙහෙකැයි යන මේ සිත ඇතිවිය.

’’මහණෙනි, එකල්හි සහම්පතී මහා බ්‍රහ්ම තෙම, ඔහුගේ සිතින් මගේ සිතෙහි පහළවූ අදහස දැන, යම් සේ බලවත් පුරුෂයෙක් හැකුලූ අත දිග හරින්නේද, දිගු කළ අත හකුථවන්නේද, එසේම බ්‍රහ්ම ලෝකයෙන් අන්තර්ධාන වූයේ මගේ ඉදිරියෙහි පහළවිය. මහණෙනි, ඉක්බිති සහම්පතී බ්‍රහ්ම තෙම උතුරු සථව ඒකාංශකොට පෙරවා, දකුණු දන මඩල පොළොවෙහි ඇන, මම යම් තැනෙක්හිද, ඊට ඇඳිලි බැඳ වැඳ භාග්‍යවතුන් වහන්ස, එය එසේමය. සුගතයන් වහන්ස, එය එසේමය. ස්වාමීනි, අතීත කාලයෙහි යම් ඒ අර්‍හත් සම්බුදු කෙනෙක් වූවාහුද, උන්වහන්සේලාද ධර්‍මයම සත්කාරකොට ගරුකාරකොට, ආශ්‍රයකොට වාසය කළාහුය. ස්වාමීනි, අනාගත කාලයෙහි යම් ඒ අර්‍හත් සම්බුදු කෙනෙක් වන්නාහුද, උන්වහන්සේලාද ධර්‍මයම සත්කාරකොට ගරුකාරකොට, ආශ්‍රයකොට වාසය කරත්. ස්වාමීනි, දැන් අර්‍හත් සම්‍යක් සම්බුද්‍ධවූ භාග්‍යවතුන් වහන්සේද ධර්‍මයම සත්කාරකොට, ගරුකාරකොට, ආශ්‍රයකොට වාසය කෙරෙත්වා. සහම්පතී මහා බ්‍රහ්ම රාජයා මෙසේ කීයේය. මෙසේ කියා නැවතද මෙසේ කීයේය.

’’අතීත කාලයෙහි යම් සම්බුදු කෙනෙක් වූවාහුද, අනාගත කාලයෙහි යම් බුදු තෙනෙක් වන්නාහුද, බොහෝ දෙනාගේ ශොක නසන වර්‍තමාන යම් බුදුවරයෙක් වේද, ඒ සියලු දෙනා වහන්සේම සද්‍ධර්‍ම ගරුකව වාසය කළාහුය. වාසය කරත්. යලිදු වාසය කරන්නාහුය. මේ බුදුවරයන්ගේ ධර්‍මතාවයයි. එසේ හෙයින් වැඩ කැමැත්තහු විසින්, උසස් බව කැමති වන්නවුන් විසින් බුදුවරුන්ගේ අනුශාසනය සිහි කරමින් සද්‍ධර්‍මයට ගරු කළ යුතුයි.’’

’’මහණෙනි, සහම්පතී බ්‍රහ්මතෙම මෙසේ කීයේය. මෙය කියා මා වැඳ ගරුකොට එහිම අතුරුදහන් විය. මහණෙනි, ඉක්බිති මම බ්‍රහ්මයාගේ ඉල්ලීම දැන, මටද සුදුසුවූ, මා විසින් අවබෝධ කළ යම් ධර්‍මයක් වේද, ඒ ධර්‍මයම සත්කාරකොට, ගරුකාරකොට, ආශ්‍රයකොට, වාසය කළෙමි. මහණෙනි, යම් කලෙක සිට සංඝයාද මහත් බවට උසස් බවට පැමිණියේද, එකල්හි සංඝයා කෙරෙහිද මගේ ගෞරවය විය.’’