අඞ්ගුත්තරනිකායො

චතුක්ක නිපාතය

1. පළමුවෙනි පණ්ණාසකය

3. උරුවෙල වර්‍ගය

2. බුද්‍ධාපචායන සූත්‍රය

’’මහණෙනි, එක්තරා කාලයෙක්හි මම බුදුවූ අථත, උරුවේලාවෙහි, නේරඤ්ජරා නදී තීරයෙහි, අජපල් නුග රුක මුල වසමි. මහණෙනි, එකල්හි, දිරූ, වෘද්‍ධවූ, මහථවූ, කල්ගිය වයසට පැමිණි බොහෝ බ්‍රාහ්මණයෝ මම යම් තැනෙක්හිද, එතැනට පැමිණියාහුය. පැමිණ මා සමග සතුටු වූහ. සතුටුවිය යුතුවූ, සිහි කටයුතුවූ, කථාකොට නිමවා එකත් පසෙක සිටියාහුය.

’’මහණෙනි, එකත්පසෙක සිටි ඒ බ්‍රාහ්මණයෝ, ’භවත් ගෞතමයන් වහන්ස, ශ්‍රමණ ගෞතමයන් වහන්සේ දිරූ, වෘද්‍ධවූ, මහථ, කල්ගිය, වයසට පැමිණි, බමුණන් නොවඳියි කියාද, උපස්ථාන නොකරයි කියාද, අසුනින් නිමන්ත්‍රණ (හිඳීමට කීම) නොකෙරෙයි කියාද, යන මෙය අප විසින් අසන ලදී. භවත් ගෞතමයන් වහන්ස, එය එසේමද? භවත් ගෞතමයන් වහන්සේ, දිරූ, වෘද්‍ධවූ, මහථ, කල්ගිය, වයසට පැමිණි බමුණන්ට නොවඳින්නේද, උපස්ථාන නොකෙරේද, අසුනින් නිමන්ත්‍රණය නොකරයිද, භවත් ගෞතමයන් වහන්ස, එය නුසුදුසුය.’’

’’මහණෙනි, ඒ මට මේ ආයුෂ්මත්හු ස්ථවිරයන් හෝ (වැඩිමහල්ලා) ස්ථවිර බවට පත්කරණ ධර්ම හෝ නොදනිති. මහණෙනි, ඉදින් උත්පත්තියෙන් අසූ වයස්වූ හෝ අනූ වයස්වූ හෝ වර්‍ෂ සියයක්වූ හෝ වෘද්ධයෙක් වේද, හෙතෙම නොකල්හි කියන්නේ වේද, නොවූවත් කියන්නේද, අනර්ත්‍ථයෙන් කියන්නේද, අධර්මයෙන් කියන්නේද, නොහික්මීමෙන් කියන්නේ වේද, හෘදයෙහි තබා නෙගත යුතු වචනය කියන්නේද, කරුණු සහිතව නොකියන්නේද, සීමා නොදක්වා කියන්නේද, ලෞකික, ලෝකොත්තර අර්ත්‍ථය නැතිව කියන්නේද, හුදෙක් ඔහු අන්‍ධබාල ස්ථවිරයෙකි යන සංඛ්‍යාවටම පැමිණෙයි.

’’මහණෙනි, ඉදින් තරුණවූ, ලපටිවූ, කථ කෙස් ඇති, යහපත් යෞවනයෙන් යුක්ත, පළමුවෙනි වයසෙහි සිටි බාලයෙක් වේද, හෙතෙම සුදුසු කාලයෙහි කියයිද, අර්ත්‍ථයෙන් කියයිද, ධර්මයෙන් කියයිද, විනයෙන් කියයිද, සුදුසු කාලයෙන් කරුණු සහිතව කියයිද, සීමා දක්වා කියයිද, අර්ත්‍ථ සහිතව කියයිද, හෘදයෙහි තැන්පත් කර ගත යුතු වචන කියයිද, හුදෙක් හෙතෙම පණ්ඩිත ස්ථවිරයෙකි යන සංඛ්‍යාවට යයි.

’’මහණෙනි, මේ ස්ථවිර බව ඇතිකරණ ධර්‍ම සතරකි. කවර සතරක්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම සීලයෙන් යුක්ත වේද, ප්‍රාතිමොක්‍ෂ සීලයෙන් සංවරව වෙසෙයිද, ආචාරයෙන් හා ගෝචරයෙන් යුක්තද, සුලු වරදෙහිද බිය දක්නා සුථ වේද, ශික්‍ෂා පදයන් දැඩිව ගෙන හික්මේද, ඇසූ දේ දරන්නේද, ඇසූ දේ රැස්කරණ තැනද යම් ඒ ධර්‍ම කෙනෙක් මුල, මැද, අග යහපත්ද, අර්ත්‍ථ සහිතද, ව්‍යඤ්ජන සහිතද, හැම ලෙසින්ම සම්පූර්‍ණද, පිරිසිදු බ්‍රහ්මචර්‍ය්‍යාව ප්‍රකාශ කරයිද, ඔහු විසින් එබඳු ධර්මයෝ බොහෝ අසන ලද්දාහුද, දරන ලද්දාහුද, වචනයෙන් පුරුදු කරණ ලද්දාහුද, සිතින් සලකන ලද්දාහුද, ප්‍රඥාවෙන් ප්‍රතිවෙධ කරණ ලද්දාහුද, පිරිසිදු සිතින් ලැබුවාවූ මේ ආත්මයෙහි සැප විහරණ ඇති මේ ධ්‍යාන සතර කැමති පරිදි ලබන්නේ වේද, පහසුවෙන් ලබන්නේ වේද, නිදුකින් ලබන්නේ වේද, ආශ්‍රවයන්ගේ ක්‍ෂය කිරීමෙන් ආශ්‍රව රහිත අර්‍හත ඵල සමාධියද, අර්‍හත් ඵල ප්‍රඥාවද, මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන, ප්‍රත්‍යක්‍ෂකොට ඊට පැමිණ වාසය කරයිද, මහණෙනි, මේ ස්ථවිරභාවය ඇතිකරණ ධර්‍ම සතරය.

’’යමෙක් විසුරුණු සිතින් බොහෝ ප්‍රලාප දොඩවයිද, ලාමක දෘෂ්ටි ඇති, ඇලය රහිත, එකඟ නොවූ සිත් ඇති, අසද්ධර්‍මයෙහි ඇලුණු, මෘගයෙකු වැනි හෙතෙම ස්ථිරභාවයෙන් දුරව සිටියේය. යමෙක් ශීලයෙන් යුක්තද, ශ්‍රද්‍ධාවත්ද, වැටහීමෙන් යුක්තද, නුවණින් යුක්තද, සංයමද, ප්‍රඥාවෙන් අර්ත්‍ථය දනීද, සුයලු ධර්‍මයන්ගේ පරතෙරට ගියේද, රාගාදී හුල් රහිතද, වැටහෙන ප්‍රඥා ඇත්තේද,

’’ඉපදීම, මරණය දෙක ප්‍රහීණ වූයේද, සියලු බ්‍රහ්මචර්‍ය්‍යයෙන් යුක්තද, යමෙකුට ආශ්‍රවයෝ නැද්ද, ඔහු මම ථෙරයයි කියමි. මහණතෙම ආශ්‍රවයන් ක්‍ෂයවීමෙන් ස්ථවිරයයි කියනු ලැබේ.’’