අඞ්ගුත්තරනිකායො
චතුක්ක නිපාතය
1. පළමුවෙනි පණ්ණාසකය
3. උරුවෙල වර්‍ගය
6. ධම්ම විරූහන සූත්‍රය
’’මහණෙනි, යම් ඒ මහණ තෙම කුහකද, ක්‍රොධයෙන් හා මානයෙන් තදද, ලාභ සත්කාර ගරුකොට කියාද, සිංහ (අඟ) නම් ප්‍රකට කෙලෙස් ඇද්ද, නැග සිටි මාන ඇත්තාහුද, එකඟ නොවූ සිත් ඇත්තාහුද, මහණෙනි, ඒ භික්‍ෂූහු මා විසින් මමත්‍වය නොකරණ ලදහ. මහණෙනි, ඒ භික්‍ෂූහු මේ ධර්‍ම විනයෙන් පහවූහ. ඔවුහු මේ ධර්‍ම විනයෙහි, වෘද්ධියට, වැඩීමට, විපුලත්‍වයට නොපැමිණෙත්.
’’මහණෙනි, යම් ඒ භික්‍ෂුකෙනෙක් කුහක නොවෙත්ද, ලාභය පිණිස ගරු නම්බු දී කථා නොකරද්ද, ධෛර්‍ය්‍යවත්ද, තද නොවූවාහුද, සංසුන් සිත් ඇත්තාහුද, මහණෙනි, ඒ භික්‍ෂූහු මා විසින් මමත්‍වය කරණ ලදහ. මේ ධර්‍ම විනයෙන් පහ නොවූවාහුද වෙත්. ඔවුහු මේ ධර්‍ම විනයෙහි වෘද්ධියට, වැඩීමට, විපුලත්‍වයට පැමිණෙත්.
’’කුහකවූ, තදවූ, අනුන් පහත්කොට කථා කරන්නාවූ, මාන නමැති අං ඇති, ඔසවන ලද මාන නල ඇති, අසංයමවූ ඔවුහු සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් දෙසන ලද ධර්‍මයෙහි නොවැඩෙත්. කුහක නොවූ, ලාභ බලාපොරොත්තුවෙන් කථා නොකරණ, ධෛර්‍ය්‍යවත්වූ, තද නොවූ, එකඟ සිත් ඇති ඔවුහු සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් දේශිතවූ ධර්‍මයෙහි වැඩෙත්.’’