අඞ්ගුත්තරනිකායො

චතුක්ක නිපාතය

1. පළමුවෙනි පණ්ණාසකය

3. උරුවෙල වර්‍ගය

7. අප්පසුලභ සූත්‍රය

’’මහණෙනි, සුලුවූද, සුලභවූද, නිවරදවූද මේ සතර දෙනෙක් වෙත්. කවර සතර දෙනෙක්ද යත්.

’’මහණෙනි, සිවුරු අතුරෙන් පාංශුකූල චීවරය සුලුද, සුලභද, නිවැරදිද වේ. මහණෙනි, භොජනයන්ගෙන් පිණ්ඩපාත භොජනය, සුලුද, සුලභද, නිරවද්‍යද වේ. මහණෙනි, සේනාසන අතුරෙන් වෘක්‍ෂ මූල සේනාසනය, සුලුද, සුලභද, නිරවද්‍යද වේ. මහණෙනි, බෙහෙත් අතුරින් ගොමුත්‍රය, සුලුද, සුලභද, නිවරදද වේ. මහණෙනි, මේ සතර සුලුද, සුලභද, නිරවද්‍යද වෙත්.

’’මහණෙනි, යම් කලක පටන් භික්‍ෂුව සුලු දෙයින් සතුටුවූයේ වේද, සුලභ දෙයින් සතුටුවූයේ වේද, මේ ඔහුගේ එක්තරා ශ්‍රමණ භාවයට සුදුසු අංගයකැයි කියනු ලැබේ.

’’සුලුද, සුලභවූද සෙනසුන්, සිවුරු, පියයුතු පානය, බුදියයුතු අහර යන නිර්දෝශ දෙයින් සතුටු භික්‍ෂුවගේ සිතට බාධාවක්, (දුකක්) නොවේ. දිශාවන්හි නොගැටේ. අප්‍රමාද සතුටු සිත් ඇති භික්‍ෂුවට පැවිදිකමට අනුලෝමවූ යම් ධර්‍ම කෙනෙක් වදාරණ ලද්දාහුද, ඔව්හු ලබන ලද්දාහ.’’