අඞ්ගුත්තරනිකායො
චතුක්ක නිපාතය
2. දුතිය පණ්ණාසකය
(10) 5. අසුර වර්‍ගය
4. තතිය චෙතොසමථ සූත්‍රය
’’මහණෙනි, මේ පුද්ගලයන් සතර දෙනෙක් ලෝකයෙහි ඇත්තාහ, විද්‍යමාන වෙත්. කවර සතර දෙනෙක්ද යත්?
’’මහණෙනි, මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයෙක් අධ්‍යාත්මයෙහි අර්‍පණ චිත්ත සමාධිය ලබන්නේ වේ. විදර්‍ශනා ප්‍රඥාව නොලබන්නේ වේද,
’’මහණෙනි, මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයෙක් විදර්‍ශනා ප්‍රඥාව ලබන්නේ වේ. අධ්‍යාත්මයෙහි අර්‍පණ චිත්ත සමාධිය නොලබන්නේ වේ.
’’මහණෙනි, මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයෙක් අධ්‍යාත්මයෙහි අර්‍පණ චිත්ත සමාධිය නොලබයි. විදර්‍ශනා ප්‍රඥාව නොලබයි.
’’මහණෙනි, මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයෙක් අධ්‍යාත්මයෙහි අර්‍පණ චිත්ත සමාධිය ලබයි. විදර්‍ශනා ප්‍රඥාව ලබයි.
’’මහණෙනි, එහි යම් මේ පුදගලයෙක් තෙම අධ්‍යාත්මයෙහි අර්‍පණ සමාධිය ලබන්නේද, විදර්‍ශනා ප්‍රඥාව නොලබන්නේද, ඒ පුද්ගලයා විසින් යම් මේ පුද්ගලයෙක් විදර්‍ශනා ප්‍රඥාව ලබන ලද්දේ වේද, හෙතෙම පැමිණ මෙසේ කිවයුතු වන්නේය. ’’ඇවැත්නි, සංස්කාරයන් කෙසේ දත යුත්තාහුද? සංස්කාරයන් කෙසේ සන්මර්‍ශනය කටයුත්තාහුද, කෙසේ සංස්කාරයන් විදර්‍ශනා කටයුතුදැයි මෙසේ කියයුතු වන්නේය. ඔහුට ඔහු දුටු පරිදි, දත් පරිදි ප්‍රකාශ කරයි. ඇවැත්නි සංස්කාරයෝ මෙසේ දත යුත්තාහ. මෙසේ සංස්කාරයන් සන්මර්‍ශනය කටයුත්තාහ. මෙසේ සංස්කාරයන් විදර්‍ශනා කටයුතුයයි දත් පරිදි ප්‍රකාශ කරයි. හෙතෙම මෑත භාගයෙහි අධ්‍යාත්මයෙහි අර්‍පණ චිත්තය ලබන ලද්දේ වේ. විදර්‍ශනා ප්‍රඥාවද ලබන ලද්දේ වේ.
’’මහණෙනි, එහි යම් මේ පුද්ගලයෙක් විදර්‍ශනා ප්‍රඥාව ලබන ලද්දේ වේද, අධ්‍යාත්මයෙහි අර්‍පණ සමාධිය නොලබන ලද්දේ වේද, මහණෙනි, ඒ පුද්ගලයා විසින් යම් පුද්ගලයෙක් අධ්‍යාත්මයෙහි අර්‍පණ සමාධිය ලබන ලද්දේ වේද, හෙතෙම පැමිණ, ’ඇවැත්නි, කෙසේ සිත පිහිටුවිය යුතුද, කෙසේ සිත එකට පහළවන්නක් කළයුතුද, මෙසේ සිත සමාධිගත කටයුතුය’ යි දත් පරිදි ප්‍රකාශ කරයි. මහණ තෙම මෑත භාගයෙහි විදර්‍ශනා ප්‍රඥාවද, අර්‍පණ සමාධියද ලබන්නේ වේ.
’’මහණෙනි, එහි යම් මේ පුද්ගලයෙක් අධ්‍යාත්මයෙහි අර්‍පණ සමාධිය නොලැබුයේද, විදර්‍ශනා ප්‍රඥාවද නොලැබුයේ වේද, මහණෙනි, ඒ පුද්ගලයා විසින් යම් මේ පුද්ගලයෙක් අධ්‍යාත්මයෙහි අර්‍පණ සමාධිය ලැබුයේද, විදර්‍ශනා ප්‍රඥාවද ලැබුයේද, හෙතෙම පැමිණ, ’ඇවැත්නි, කෙසේ සිත පිහිටුවිය යුතුද, කෙසේ සිත තබාගත යුතුද, කෙසේ සිත එකට පහළ කරගත යුතුද, කෙසේ සිත සමාධිගත කටයුතුද, කෙසේ සංස්කාරයෝ දත යුත්තාහුද? කෙසේ සංස්කාරයන් සන්මර්‍ශනය කටයුතුද, කෙසේ සංස්කාරයන් විදර්‍ශනා කටයුතුදැ’ යි ඇසිය යුතුය. ඔහුට හෙතෙමේ, ’ඇවැත්නි, මෙසේ සිත පිහිටුවිය යුතුය. මෙසේ සිත තබාගත යුතුය. මෙසේ සිත එකට පහළවන්නක් කටයුතුය. මෙසේ සිත එකඟ කළ යුතුය. මෙසේ සංස්කාරයන් දත යුතුය. මෙසේ සංස්කාරයන් සන්මර්‍ශනය කටයුතුය. මෙසේ සංස්කාරයන් විදර්‍ශනා කටයුතුය’ යි දුටු පරිදි, දත් පරිදි ප්‍රකාශ කරයි. හෙතෙම මෑත භාගයෙහි අධ්‍යාත්මයෙහි අර්‍පණා සමාධියද, විදර්‍ශනා ප්‍රඥාවද ලබන්නේ වේ.
’’මහණෙනි, එහි යම් මේ පුද්ගලයෙක් අධ්‍යාත්මයෙහි අර්‍පණා සමාධියද ලබන්නේ වේ. විදර්‍ශනා ප්‍රඥාවද ලැබූයේ වේද. ඒ පුද්ගලයා විසින් ඒ කුශල ධර්‍මයන්හි පිහිටා මත්තෙහි ආශ්‍රවයන් ක්‍ෂය කිරීම පිණිස යොග කළ යුතුයි. මහණෙනි, මේ පුද්ගලයන් සතරදෙන ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්.’’